
වසර 15ක පමණ කාලයක විවිධ කාර්මික හා කෘෂි වාහන සදහා අවශ්‍ය ඝන ටයර් නිෂ්පාදනයේ නිරත කොන්ටිනෙන්ටල් (Continental) සමාගම තම ආයෝජනයන් පුළුල් කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා ගිවිසුම් ගතවිය. ඒ අනුව යුරෝ මිලියන 13ක ආයෝජනයක් මත කළුතර ප්‍රදේශයේ නවින කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කෙරේ. මේ තුලින් නව රැකියා අවස්ථා 200ක් පමණ ජනිත වනු ඇත. ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කොන්ටිනෙන්ටල් සමාගම විශේෂිත ටයර් වර්ග විශාල ප්‍රමාණයක් ලෝක වෙළදපොලට නිෂ්පාදනය කරයි. කෘෂිකාර්මික, පස්-ප්‍රවාහන සහ වරාය ඇතුලත මෙහෙයුම් වාහන සදහා භාවිතා කරන ඝන ටයර් සහ භාණ්ඩ හැසිරවීම, යතුරුපැදි සහ ධාවන තරග සදහා භාවිතා කරන ටයර් ද නිපදවයි. පාරිභෝගිකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන, ඔවුන්ගේ මෙහෙයුම් පිරිවැය තිරසාර ලෙස අඩු කිරීමට උපකාර වන පරිදි සිදු කරන ඔවුන්ගේ ටයර් නිෂ්පාදන වෙනුවෙන් ලොව පුරා වැඩි වෙළෙද පොලක් පවතී.
2009 වසරේ සිට කළුතර පිහිටි කර්මාන්ත ශාලාව ෆෝක්ලිෆ්ට් සහ අනෙකුත් භාණ්ඩ හැසිරවීමේ වාහන සඳහා කාර්මික ඝන ටයර් නිෂ්පාදනය කරනු ලබයි. මෙම කර්මාන්ත ශාලාව විසින් Press-on-Band ටයර් සහ සුපිරි ඉලාස්ටික් ටයර් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇමරිකානු, ආසියානු සහ තෝරාගත් යුරෝපීය වෙළඳපොළ සදහාය. පුළුල් පරාසයක සැපයුම් ආවරණයක් සපුරාලන විශේෂිත ටයර් සන්නාම වන Continental, General Tire සහ Barum සමඟින්, Continental ලොව පුරා සිටින සිය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය මත ක්‍රියාත්මක කළුතර කර්මාන්ත ශාලාව ගෝලීය නිෂ්පාදන ජාලයේ ප්‍රධාන කොටසක් බවට මේ වන විට පත්ව ඇත. මෙම ආයෝජන පුළුල් කිරීම තුලින් නිෂ්පාදන හා අපනයනය තව දුරටත් ඉහල යනු ඇත. කොන්ටිනෙන්ටල් (Continental) සමාගමේ විෂන් 2030 උපායමාර්ගික වැඩසටහන අනුව ඔවුන්ගේ විශේෂිත ටයර් නිෂ්පාදන ව්‍යාපාරය ක්‍රමානුකූලව වර්ධනය කරමින් සිටින බව සමාගම පවසයි.