මහනුවර ඇසළ උළෙලේ ආසනයක් 65,000 දක්වා ඉහළට – ඡාවාරමක් ඇරඹෙයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50000ත් 65000ත් අතර මුදලකට අළෙවි කිරීමේ ජාවාරම මේ වන විටත් ආරම්භ වී තිබේ.

රන්දෝලි පෙරහර නැරඹීම සඳහා රුපියල් 12000කට මිල නියම කර තිබෙන ටිකට්පත් තැරැව්කරුවන් කිහිප දෙනෙකු මගින් විදේශිකයන් අතර පත්වීමේ දී පස් ගුණයකින් පමණ මිල ඉහළ යන බව මේ වන විට අනාවරණය වී ඇත.

මහනුවර රැජින හෝටලයේ කොරිඩෝවේ එක් කොටසක් ටෙන්ඩර් දී තවත් කොටසක නගර සභාව මඟින් ආසන පනවා ටිකට්පත් අන්තර්ජාලය ඔස්සේ රුපියල් 12000, 15000, 18000 වැනි මුදලකට අළෙවි කරන බවත් අළෙවිය ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයන් ටිකට්පත් 100 හෝ ඊට වැඩි ප්‍රමාණයෙන් මිල දී ගෙන තිබෙන බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.

පෙරහර මංගල්‍යය ආරම්භ වූ පසු මොවුන් මෙම ටිකට්පත් අධික මිලට අළෙවි කරන බව ද ඒ මහතා පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් වැඩි මිලට අළෙවි කිරීම නතර කිරීම සඳහා හඳුන්වාදුන් සීමා කිරීම් පෙරහර ටිකට් අළෙවියේ දී සිදුකළ නොහැකි බවත් ජාවාරම්කරුවන් මින් ප්‍රයෝජන ගෙන අසීමිත ලාභ ලබන බවත් නගරාධිපතිවරයා පැවසුවේය.

පෙරහර ටිකට්පත් අලෙවි කිරීමේ දී මිල පාලනයක් නොමැති බවත් පෙරහර සමයේ දී ඇතැම් ව්‍යාපාරිකයින් තම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට පරිශ්‍රය පෙරහර ආසන පැනවීම සඳහා රුපියල් මිලියන ගණන්වලට බදු දෙන බවත් කී විජේනායක මහතා බදු ලබා ගන්නා පුද්ගලයන් ඉල්ලුම අනුව සිතූ සිතූ මිල ගණන්වලට ටිකට්පත් අළෙවි කරන බව ද අවධාරණය කළේය.

පවතින තත්ත්වය තුළ පෙරහර ආසන සම්බන්ධයෙන් මිල නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද හෙතෙම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *