ලෝක උරුම මහනුවර නගරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීමත් නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ පහසුවත් පිණිස ඉවත් කළ පදික වෙළෙඳුන්ට යළි නගරයේ වීදිවල වෙළෙඳාම් කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි. වීදි වෙළෙඳුන් ඉවත් කරන ලෙස ජනතා ඉල්ලීම් කොතෙක් ලැබුණද පසුගිය පාලන සමයන්හිදී ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගත් බවත් මෙවර ගත් තීරණය කිසිසේත්ම ආපසු නොහරවන බවත් ඒ මහතා කීය. මහනුවර මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම පෙරේදා (14) නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ නගරාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
පසුගිය සමයේ නගර සභා පාලනය විවිධ දේශපාලන පක්ෂ මඟින් සිදු කරනු ලැබුවා. ඒ කිසිම අවස්ථාවක නගරයේ පදික වෙළෙඳාම ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. ඇතැම් විට නගර සභාවට සම්බන්ධ අය පවා ඒ සඳහා සහයෝගය ලබා දී තිබුණේ තමන්ගේ පෞද්ගලික පැවැත්මටයි. මේ හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාව සැලකිල්ලට ගත්තේ නෑ. මහනුවර කියන්නේ ලෝක උරුම සංචාරක නගරයක් වගේම පූජනීය නගරයක්. විශාල වශයෙන් දෙස් විදෙස් ජනතාව නගරයට එනවා. මේ අයට නිදහසේ නගරයේ සැරිසරන්න අවස්ථාව නගර සභාව ලෙස සකස්කර දීම අපේ වගකීමක්. ඇතැම් පදික වෙළෙඳුන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන්ද අපට පැමිණිලි ආවා.
අපි මේක එක පාරටම ගත් තීරණයක් නොවෙයි. මාස හයකට පෙර තමයි මේ අයට අපි කිව්වේ ඉවත් වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් නගරයේ වගේම නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රශංසාව නගර සභාවට හිමිව තිබෙනවා. මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත සභා තීන්දුවක් මතයි මේ ඉවත් කිරීම කළේ. මේක දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. දිනෙන් දින පදික වෙළෙඳුන් වැඩි වුණා. මේ අයට නැවත වීදියේ වෙළෙදාම් කරන්න ඉඩ දෙන්න කියා විවිධ ඉල්ලීම් එනවා. එහෙත් ගත් තීරණය අපි කිසිසේත්ම ආපසු හරවන්නේ නැහැ.
වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ වෙළෙඳාම් කළේ කවුද කියලා අපි දන්නවා. මේ අයට අසාධාරණයක් කරන්නේ නැහැ. ඔවුන්ට සුදුසු ස්ථානයක් දෙනවා. දැනටමත් එම ස්ථාන අපි නම් කර තිබෙනවා. පදික වෙළෙඳාම් කරන සමහරුන්ට මහනුවර නගරයේ වෙළෙඳසල් පවා තිබෙනවා. ඒවා කුලියට දීලා තමයි මේ අය පදික වෙළඳාමේ නිරත වෙන්නේ. මේ අයත් ජීවත් වෙන්න ඕනෑ කියන අදහස අපි බැහැර කරන්නේ නෑ. නව ස්ථාන ලබාදීමේදී ඉල්ලුම් කරන හැමෝටම දෙන්න පුළුවන්කමක් නෑ. පදික වේදිකාවේ වසර ගණනාවක් වෙළෙඳාම් කළ අයට තමයි අපි ස්ථාන ලබා දෙන්නේ. මේ ලබාදෙන ස්ථානවල වෙළෙඳාම් කිරීමෙන් කිසිසේත්ම ජනතාවට අවහිරයක් වෙන්නේ නැහැ. අද මහනුවර නගරයේ ජනතාවට ඕනෑම තැනක නිදහසේ යන්න එන්න හැකියාව තිබෙනවා.