ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා බවට කරන්දෙණියේ මැනියෙල් මහත්තයා පත් වෙයි – වයස අවුරුදු 110යි

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පදිංචිකරුවකු වන බොලන්ඩ් හකුරු මැනියල් මහතා ශ්‍රී ලංකාවේ වයස්ගතම පුරුෂයා ලෙස වැඩිහිටි ජාතික ලේකම් කාර්යාලය නිල වශයෙන් පිළිගෙන තිබේ. ඔහුගේ වයස අවුරුදු 110 කි.

ඒ මහතාගේ ජාතික හැඳුනුම්පතට අනුව, මැනියල් මහතා 1915 ජුනි 4 වැනි දින කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඟුගල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ උපත ලබා තිබේ. ඔහු තම මුළු ජීවිතයම ගම් ප්‍රදේශයේ ගත කර ඇති බවත්, කුරුඳු වගාව ජීවනෝපාය කර ගනිමින් ගමේ සමාජ සේවා කටයුතුවල ප්‍රමුඛව යෙදී ඇති බවත් සඳහන්ය. වයස අවුරුදු 75 දක්වාම ඔහු ගමේ පිරිත් උත්සවවලට සහභාගි වී ඇත. හෙතෙම 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර තවමත් කියවීමට හා ලිවීමට හැකිය. මැනියල් මහතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඔහුගේ පවුලේ අය සරල ජීවන රටාවකට සහ විෂ ද්‍රව්‍යවලින් තොර ආහාර වේලකට පුරුදුව සිටිති. ඔහු දරුවන් නව දෙනකුගේ පියකු වන අතර පවුලේ සෙනෙහස දිගටම භුක්ති විඳියි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මෑතකදී ඔහුගේ නිවසට ගොස් තෑගි ප්‍රදානය කර ඔහුගේ සුවදුක් විමසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *