කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සිය උපරිම මෙහෙයුම් ධාරිතාවට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි ශීත ඍතු සමය සඳහා ඉල්ලා තිබූ අමතර සතිපතා ගුවන් ගමන් වාර ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට සිදුව ඇති බවත් වාර්තා වේ.
සංචාරක පැමිණීම අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ, විශේෂයෙන්ම 2025 වසරේදී වාර්තාගත සංචාරකයින් මිලියන 1.7 ඉක්මවා ඇති අතර, සැප්තැම්බර් මාසයේ පමණක් සංචාරකයින් 150,000කට ආසන්න පිරිසක් වාර්තා වීමත් සමඟ BIA හි ඉඩකඩ හිඟය මේ වන විට දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ.
මෙම ධාරිතා සීමාව හේතුවෙන්, ඉදිරි මාස හයක ශීත ඍතු සමය තුළ මෙරටට ලැබීමට තිබූ සැලකිය යුතු ආදායමක් අහිමි වනු ඇතැයිසංචාරක කර්මාන්තයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ගුවන් තොටුපළේ ඉඩ සීමාව නිසා අමතර ගුවන් ගමන් සඳහා අවසර දිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
මත්තලට චාටර් ගුවන් ගමන් හරවා යවයි
මෙම තත්ත්වයට විසඳුමක් ලෙස, ඉල්ලුම ඉහළ යෑම හමුවේ, ගුවන් සමාගම් කිහිපයක් සිය ගුවන් ගමන් මෙහෙයුම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) වෙත හරවා යැවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් චාටර් ගුවන් සමාගම්(Charter Carriers) විසින් මෙම තීරණය ගෙන ඇත.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයට සෘජුවම බලපාන බැවින්, ගුවන්තොටුපළේ ධාරිතාව කඩිනමින් පුළුල් කිරීමේ අවශ්‍යතාව නැවත වරක් මතු වී තිබේ.