පිළිකා පර්යේෂණ ක්‍ෂේත්‍රයේ නව සොයාගැනීමක් වෙනුවෙන් ශ්‍රී ලාංකික පර්යේෂකයකුට ඇමරිකාවේ කෙරෙන ඉහළම පිළිගැනීමක්, ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන කෙනත් හුලුගල්ල මහතාට පසුගියදා හිමි විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ කෙනත් හුලුගල්ල මහතා මිසිසිපි විශ්වවිද්‍යාලයේ සිවු වැනි වසරේ ආචාර්ය උපාධිය අපේක්ෂකයෙකි.
ඔහුගේ ප්‍රථම සොයාගැනීම 2024 ඔක්තෝබර් මාසයේදී ලෝකයේ විද්‍යාත්මක ප්‍රකාශන අතර මුල්තැනලා සැලකෙන ACS Nano සඟරාව ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ පර්යේෂණ මගින් පෙන්නුම් කළේ සිරුර තුළ ඖෂධ රැගෙන යන නැනෝ අංශු (Nanoparticies) ග්ලයිකොපොලිමර් (Glycopolymers) නම් සීනි මත පදනම් වූ අණුවලින් ආලේප කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් වඩාත් ඵලදායි ලෙස බේරී යා හැකි බවයි. ඔහුගේ පර්යේෂණයේ දිශානතිය මූලික වශයෙන් වෙනස් කිරීමට හේතු වූ ගැටලුවක් ඔහු පසුව හඳුනා ගත්තේය. එනම්, එක් එක් පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක විවිධත්වය හේතුවෙන් “සැමට පොදු එකම විසඳුම” (ne – size – fits – all) ප්‍රමාණවත් නොවන බවයි.
පිළිකා මර්දන ඖෂධ අතිශයින් සිරුරට හානිකර වන අතර රෝගය සුව කිරීමට අවශ්‍ය ඖෂධ මාත්‍රාව සහ අවදානම් විය හැකි මාත්‍රාව අතර පවතින්නේ ඉතා සුළු වෙනසකි. දැනට පවතින පිළිකා මර්දන ඖෂධවලින් ගෙන යනු ලබන ඖෂධ ප්‍රමාණයෙන් පිළිකා සෛල කරා ළඟා වන්නේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉතිරි 99% සෞඛ්‍ය සම්පන්න පටක හරහා සංසරණය වෙමින් ඉන්ද්‍රියන්ට හානි කිරීමට සහ බරපතළ අතුරු ආබාධ ඇති කිරීමට හේතු වේ. ගත වූ දශක තුන පුරා පර්යේෂකයෝ මෙම ගැටලුවට විසඳුමක් ලෙස නැනෝ අංශු ආලේප කිරීමට PEG (polyethylene glycol) භාවිතා කළහ. එය මුලදී ඵලදායි වුවද ශරීරය විසින් එම ද්‍රව්‍යයන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණ මතකයන් A(immune memory) වර්ධනය කරගන්නා බැවින් පසුව ලබා දෙන ප්‍රතිකාරවල ඵලදායිතාව ක්‍රමයෙන් අඩු වේ.
කෙනත් හුලුගල්ල මහතා සොයා ගත් ග්ලයිකොපොලිමර් ආලේපනය මෙම ප්‍රතිශක්තිකරණ මතකය මඟහැරීමට සමත් වේ. පියයුරු පිළිකා සහිත මීයන් යොදා ගෙන කළ පරීක්ෂණවලදී PEG ආලේපිත අංශුවලට වඩා ග්ලියිකොපොලිමර් ආලේපිත නැනෝ අංශු සැලකිය යුතු ප්‍රමාණයක් පිළිකා සෛල වෙත ළඟා වන බව තහවුරු විය.
ඔහුගේ පර්යේෂණය දැන් යොමු ඇත්තේ එක් එක් රෝගියාගේ රුධිර සීරම් (blood serum)සමග නැනෝ අංශු ක්‍රියාකරන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම කෙරෙහිය. මිසිසිපි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව ඔහු රෝගියාට අනන්‍යවූ ජෛව විද්‍යාත්මක පැතිකඩට ගැළපෙන පරිදි ඖෂධ ලබාදීමේ පද්ධති (personalized drug delivery) සකස් කළ හැකි ද යන්න පිළිබඳව මෙහිදී විමර්ශනය කෙරේ.
මෙම සුවිශේෂි පර්යේෂණය අගයමින් phRMA Foundation ආයතනය විසින් ඔහුට ඖෂධ බෙදා හැරීම පිළිබඳ පූර්ව ආචාර්ය උපාධි ශිෂ්‍යත්වය (Predoctoral Fellowship in Drug Delivery) පිරිනමන ලදී. වසරකට ඩොලර් 30,000ක මුදලක් පිරිනමන මෙම ශිෂ්‍යත්වය ඕලේ මිස් (Ole Miss) විශ්වවිද්‍යාලයේ සිසුවකුට හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.
“මෙය ඖෂධ බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ (Drug Delivery) නියැළී සිටින පශ්චාත් උපාධි සිසුන් අතළොස්සකට පමණක් වාර්ෂිකව හිමිවන ඉතා ඉහළ ජාතික මට්ටමේ තරගකාරිත්වයක් සහිත ශිෂ්‍යත්වයක්” බව ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය තෝමස් වර්ෆල් පැවසීය.
කෙනෙත් හුලුගල්ල මහතා සිය අවධානය යොමු කර ඇත්තේ පියයුරු පිළිකා අතර වඩාත් දරුණුතම වර්ගයක් වන Triple – negative breast cancer පිළිබඳවයි. “අපි පිළිකාව සුව කරනවා” යැයි පවසන විට එය සංකීර්ණයයි. මන්ද එය එක රෝගයක් නොව රෝග සමූහයක්. වඩාත් දරුණු පිළිකා සඳහා සාර්ථක වන ප්‍රවේශයන් සොයාගත හැකි නිසා එය තාක්ෂණය අනෙකුත් පිළිකා සඳහා ද යොදා ගත හැකියි” යනුවෙන් ඔහු පැවසීය.