
දෙවියෝ චන්ද්‍රසිරිට දුන්න දුව දෙයියෝ අරගෙන ගියා -ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්රික් රත්නායක
ගෙදරටම සිටි පුංචි සුරංගනාවිය අවිනීත රියැදුරෙක් පැහැරගෙන ගොස් අවසන්ය. මෙවන් අකල් වියෝවක් කිසිදු මවුපියකුට දරා ගැනීමට හැකිද. සුදු මැණික නමින් ආමන්ත්‍රණය කළ ඇය යන්නම ගියේ ඇයගේ නම ලංකාවට මිණි පහනක් බව (ලක්මිණි) පසක් කරමිනි. එතරම්ම ඇයගේ දක්ෂතා ප්‍රමාණය, ලක් මාතාවට ඇයගෙන් ලැබිය යුතු දායාදය කිව නොහැකි තරම් තිබුණි. නමුත් මාරයා එයට ඉඩ දුන්නේ නැත.
ගෙදරටම මිණි පහනක් වූ ඒ මැණික අද දෑස් පියාගෙන හමාරය. ලක්මිණි අපේ දුවේ අදින් පසු සුදු මැණික කියන්නේ අපි කාටද. දුව නැති දවසක් අපිට තිබුණද. අපි දෙන්නගේ ජීවිතේ වුණු සුදු මැණික ගැන අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද. අනේ අපි දෙන්නා දැන් කොහොමද ජීවත් වෙන්නේ? මගේ දුව නැතුව.,
මේ ඇයගේ මවුපියන්ගේ දෑස්වලින් සූරා වැටෙන කඳුළු කැට මැද්දේ ඇසෙන සෝ සුසුම් ළතැවුල්ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ලක්මිණි බෝගමුව පසුගිය දා අවාසනාවන්ත රිය අනතුරකට ලක්ව ජීවිතය හැර ගියාය. මියයන විට ඇගේ වයස 27ක් පමණි.
බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙද්දී ලොරියකට යට වීමෙන් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය රැකියාවට යෑම සඳහා වික්‍රමසිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරු වීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී ඇති බවත්
ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමඟ පදිංචිව සිටි ලක්මිණි බෝගමුව සහාය කථිකාචාර්යවරියක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ අතර ඇගේ පියා සිනමා හා වේදිකා නිර්මාණ ක්ෂේත්රයේ නමක් දිනූ කැලණිය විශ්වවිද්‍යාලයේ රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවයි. චන්ද්‍ර සිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන්නේද ඇයයි.
2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින්
කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක ද විය.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මඟින් ලබා දුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමටද සමත් වූවාය.
තමන් සමඟ එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමඳ ආදරය දිනාගත් තරුණියකි.
තලවතුගොඩ ගනේලන්ද සිරි නන්දාරාම විහාරය, ශ්‍රී ගැමුණු දහම් පාසල, ප්‍රධානාචාර්ය මොරාවත්තේ ධම්මිත්තර හිමියෝ.
ලක්මිණි දියණිය ශිෂ්‍යාවක වගේම මේ වන විට ගුරුවරියක වශයෙන් අපේ දහම් පාසලට විශාල ආලෝකයක් එක්කළ දියණියක්. ඇය කුඩා කාලයේ මව සමඟ දහම් පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැළුණා සේම අපගේ දහම් පාසලට විශාල වශයෙන් ගෞරවයක් කීර්තියක් ගෙන දුන් කෙනෙක්. දහම් පාසලට කථික තරගවලින් ජයග්රහණයන් රැසක් අත්කර දීමට මේ දියණිය සමත් වුණා. අප ඇය දැඩිසත්කාර ඒකකයේ සිටිය දී පවා පිරිත් කියමින් ඇයට නීරෝගි සුවය ප්‍රාර්ථනා කළා. මේ දියණිය විවිධ දක්ෂතා ඇති කෙනෙක්. කිසිම කෙනකුගේ සිත රිද්දන් නැතුව අධ්‍යාපනය හැදෑරුවා වගේම අවසානයේ දී අපේ දහම් පාසලේම ගුරුවරියක වී දරුවන්ට ධර්ම අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළා. එය ඇයගේ නම සේම ඇය මිණි පහනක් වූවා. නමුත් ඇයගේ රූපය ගිලිහුණත් නාමය කිසිදා ගිලිහෙන්නේ නැති බව මතක් කරන්න කැමතියි.
කොළඹ විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශවේන්ද්‍ර පද්ම කුමාර මහතා.
මෙතුමියගේ වියෝව අපි කිසිදා අපේක්ෂා නොකළ එකක්. ඇය අපගේ දෙපාර්තමේන්තුවට විශාල සේවයක් කළා. ඇයගේ වියෝවෙන් සිදු වූ පාඩුව දැරිය නොහැකියි. ඇය අධ්‍යාපනය ලබන අවධියේ දක්ෂ සිසුවියක් සේම විශ්වවිද්‍යාලයට කීර්තියක් ගෙන දීමට කටයුතු කළා. අනතුරුව ඇය ආචාර්ය මණ්ඩලයේ කටයුතු කරමින් ඇය උගත් දේ දරුවන්ට බෙදා දීමට මහත් උත්සාහයක් දැරුවා. ඇය අපේ ආචාර්ය මණ්ඩලයේ සිටි ඉතා කාර්යශූර දක්ෂ අයෙක්. ඇය කිසිදා කිසි කෙනකුගේ සිත රිද්දන් නැති ආදරණීය චරිතයක් වුණා. ඒ වගේම ඇය දුලබ චරිතයක්. ඇයගෙන් අධ්‍යාපනය හැදෑරු විද්‍යාර්ථීන්ගෙන් ඇය බලාපොරොත්තු වුණේ මේ රටට ලොවට අලුත් යමක් දායාද කිරීමටයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්රික් රත්නායක මහතා……
ලක්මිණි දුව හැදුණු වැඩුණේ මගේ දරුවොත් එක්කමයි. ඒ තරමට අපේ පවුල් සමීපයි. මම බලාගෙන හිටියේ සවස් වේලාවක චන්ද්‍රසිරිත් එක්ක මේ දියණිය ඇවිත් මට මංගල කාඩ් එක දෙනකම්. මම මංගල පෝරුව ඉදිරිය පිට කරන්න හිතාගෙන හිටපු කතාවක් අද මේ සමනලියක් වගේ ඉන්න දියණියගේ දේහය ඉදිරිපිට කරන්න සිදුවුණා. මම කියන්නේ මේක තමයි ඇයගේ මංගල අවස්ථාව. මම මේ කරන්නේ මංගල කතාව ඇයගේ මංගල ගමන. ඇයට චතුර අරන් දීපු මංගල සාරියත් ඇඳගෙන ඇය සමනලියක් වගේ අද මේ දෑස් පියාගෙන ඉන්නවා.එක පැත්තකින් ඇයගේ මනාලයා චතුරත් ඉන්නවා මවුපියොත් ඉන්නවා මේක තමයි ඇයගේ මංගල ගමන. දෙවියෝ චන්ද්‍රසිරිට දුන්න දුව දෙයියෝ අරගෙන ගියා. ඇත්තටම මට මේ වියෝව දරාගන්න බැරි දෙයක් අපි එක පවුලක් වගේ හිටියේ. මේ වියෝව දැනගත්ත දවසේ අපේ ගෙදරත් මළගෙයක් වුණා. අපට දරා ගන්න බැරි වුණා ඒ තරමටම අපි සමීපය. ලක්මිණි දුව චන්ද්‍රසිරි කියලා තිබුණා සෝමරත්න දිසානායක මහත්තයාගේ නෝනට හරි කියලා චිත්‍රපටයක සුරංගනාවියක චරිතයක් රඟපාන්න ආසයි කියලා. මම ඒක දැනගත්තෙත් මේ ළඟදී. ඇයගේ ශරීර කොටස් දන් දෙන්න ආසාවෙන් ඇය හිටියත් ඇයගේ මොළය අක්‍රිය වීමෙන් එම ශරීර කොටස්වලට බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් කළ නිර්දේශය නිසා ඇයගේ ශරීර කොටස් දන්දීමට බැරිවුණා. මේ වන විට ඇයගේ මංගල උත්සවය සඳහා අදාළ හෝටලය වෙන්කරගෙන අවශ්‍ය මුදල් පවා ගෙවා තිබුණා. එම මුදල් නැවත ඇයට ලබා දීමට තරම් කාරුණික වේදැයි අපි දන්නේ නෑ. මේ තරම් විවිධ දක්ෂතා ඇති මගේම වගේ දුවෙක් චන්ද්‍රසිරිගේ එකම දුව අපිට ආයෙත් දකින්න නොලැබුණත් හැමදාම අපේ හිත් තුළ ඇය ජීවත් වෙනවා.
ආචාර්ය සෝමරත්න දිසානායක මහතා….
මගේ චිත්‍රපටයක දර්ශනයක් නැරඹීමට ඇය පැමිණි අවස්ථාවේ අනිත් අයත් එක්කත් ඇය ඡායාරූප ගත්තා. ඒ වගේම මමත් එක්ක තනියම ෆොටෝ එකකුත් ගමුයි කියලා කිවුවා. මම එතකොට ඇය ගැන හරියට දැනගෙන හිටියෙ නෑ. මගේ බිරිය හරි සංවේදී. ඇය මට මේ දියණියගේ මරණය ගැන කීවා . මම ඇහුවා අර ඊයෙ මගෙත් එක්ක ෆොටෝ ගත්ත දරුවද කියල. චන්ද්‍රසිරි මගෙත් එක්ක කොපමණ සම්බන්ධතා පැවැත්වුවත් මේ දියණිය අපට කලින් හම්බ වුණේ නෑ. චන්ද්‍රසිරි අද උදේ තමයි මට කිවුවේ මගේ චිත්‍රපටයක පොඩි චරිතයක් හරි කරන්න කැමැත්තෙන් හිටියයි කියල. මට හරි කනගාටුවක් ආවා මගේ චිත්‍රපටයක ඇයට රඟපාන්න අවස්ථාවක් ලබා දීමට නොහැකි වීම ගැන. රියැදුරු පළපුරුදු රියැදුරකු වුණා නම් බ්රේක් එකට කකුල ගියා නම් අද මේ තරම් කනගාටුවක් දුකක් දරාගන්න වෙන්නේ නෑ.
පෙම්වතා, චතුර කොඩිතුවක්කු මහතා…
අපි දෙන්නා දැන අඳුන ගත්තේ තලවතුගොඩ දහම් පාසලේ දී. ආරම්භය දීර්ඝ එකක් දිනේ කියන්න බැරි තරම්. ඇය විවිධ දක්ෂතා තියෙන විශේෂයෙන්ම නර්තනයට බොහොම කැමැත්තක් දක්වපු ආදරණීය චරිතයක්. ඇයගේ මේ නැති වූ ආදරය මට කෙසේ ලබා ගන්නද. ඇයට තරහ යන්නේ නෑ. ප්‍රියමනාප විනෝදශීලි චරිතයක්. මේ අම්මටයි තාත්තටයි එකම දියණිය නැති වුණා වගේම මට මගේ දයාබරිය නැතිවුණා. අපි වෙඩින් එකට හැමදේම ප්ලෑන් කරලා තිබුණේ. මේ අවුරුද්දේ මැද වගේ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් හිටියේ. එයා කොහේ හිටියත් ආදරෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා ඇති. ඒ ආදරය හැමදාම මගේ හදවතේ තියෙනවා ඇති.
ධීවර දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල මහත්මිය…
මට හරි බයක් දැනෙනවා මගේ දුවටත් මේක වෙයි කියල මීට වඩා බලධාරීන් සැලකිලිමත් වෙන්න ඕනේ. චන්ද්‍රසිරි කියන්නේ අපේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේම කෙනෙක් වගේ. ඒ තරමට අපිට සමීපයි. මැරෙන්නෙ ඉන්න ඕන මිනිස්සු මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන මිනිස්සු මැරෙන්නෙ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ. මේ සුන්දර දියණියගේ ජීවිතේ නැති වුණා වගේ අවිනීත රියැදුරන් නිසා තව කීදෙනකුගේ ජීවිත නැතිවෙයිද. මේ රටේ විනය හදන්න ඕනේ. අත යටින් කීයක් හරි අරගෙන ලයිසන් එක හදලා දෙන නිලධාරීන් මේ මරණවලට වගකියන්න ඕනේ. ලක්මිණි කියන්නේ මේ රටේ මිණි පහනක්.
අද දෙරණ ප්රවෘත්ති හා කාලීන අංශයේ සාමාන්‍යාධිකාරී වසන්ති නානායක්කාර මහත්මිය…
කවුරුත් නොදන්න කතාවක් මම මේ කියන්නේ. අනතුරෙන් පස්සේ මේ දුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කළ සියලු නිලධාරීන්ට චතුර පුතා වැඳලා ස්තුති කරා. ඒ විතරක් නෙමෙයි දුවගේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න පුරාවටම බලා ගන්නවා කියලා සියලු දෙනා ඉදිරියේ පොරොන්දු වුණා. අපි හිතනවට වඩා චතුර ඉතා දක්ෂ කාර්යශූර අයෙක් ඔහුට දරා ගැනීමේ ශක්තිය වගේම සියලු දෙයක් ගැන මනා දැනීමක් වැටහීමක් තියෙන කෙනෙක්. මම දහම් පාසලේ උත්සවයකට ආපු වෙලාවේ චතුර පුතා තමයි නිවේදන කටයුතු කළේ. මම හිතන්නේ මේ දුවත් එතන ඉන්න ඇති. මම චතුර පුතාගෙන් ඇහුවා ඔයා නිවේදන කටයුතු කරන්න කැමතිද කියල. චතුර පුතා දෙරණට සම්බන්ධ වීමේ ආරම්භය එතනින්. එයාට චතුර පුතා දිග ගමනක් ගියා. කිසි වෙලාවක චතුර පුතා මේ දියණියගේ පියා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කියලා කියමින් ලාභ ප්‍රයෝජන ගන්න උත්සාහ කළ කෙනෙක් නෙවෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ හතරවෙනි වසරේ විද්‍යාර්ථී සවිදු ගුණවර්ධන මහතා.
අපේ මිස් කටයුතු කළේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන්. අපිට බොහොම සමීපව ළෙන්ගතුව අධ්‍යාපනය ලබා දුන් ගුරු මෑණියෙක්. මේ ළඟදි අපේ ප්‍රදර්ශනයක් තිබුණා. ඒ ප්‍රදර්ශනයේ දී ජාත්‍යන්තර සබඳතා ගැන මම ප්‍රසන්ටේෂන් එකක් කරා. මම අන්තිමේ දී මිස්ගෙන් ඇහුවා මිස් මම හොඳට කරාද කියල. මිස් මිස් මට එකපාරටම කිවුවෙ ඔයා කියපු කිසිම දෙයක් මට තේරුණේ නෑ කියලා මිස් හිනාවුණා ඒ වගේ විහිළුත් මිස් කරනවා පස්සේ මට මිස් කිවුවා ඔයා හොඳට කරා කියලා. ඒ වගේ ආදරණීය චරිතයක් අපේ මිස්. අපිට තේරෙන්නෙ නැති දෙයක් තිබුණොත් ලෙච්චරස්වලින් පස්සෙ හරි ගිහිල්ලා මිස් හම්බ වුණොත් අපිට කියලා දෙනවා. අපේ පැකල්ටියටම මේක දරා ගන්න බැරි ලොකු දුකක්. මිස් හැමදාම අපේ හිත්වල තැන්පත් වෙලා තියේවි.
ශ්‍රී ගැමුණු දහම් පාසල, අවසන් වසර ශිෂ්‍ය, සවිදු ලංකාර මහතා…
මිස් අපිට හැම විෂයක්ම ඉගැන්නුවා. අභිධර්මයට ගොඩක් දක්ෂයි. මිස් කියල දෙන එක හොඳට අපේ හිතේ තැන්පත් වෙනවා. ඒ විදිහට උගන්නන්න පුළුවන් හොඳ ගුරුතුමියක්. කවදාවත් අපිට සැරවැර කරේ නෑ. අපිට ආදරයෙන් කතා කරා අපිට හරිම ළෙන්ගතුයි. මිස් අපිට උගන්වනවා වගේම බාහිර වැඩවලටත් පන්සලේ තියෙන හැම දේකටම දුවලා පැනලා වැඩ කරනවා. අපේ දහම් පාසලට විවිධ කුසලතා සම්මාන දක්ෂතා අරගෙන එන්න අපිව දිරිමත් කරනවා. අපිත් එක්ක තරගවලට යනවා. අපිට ජයග්රහණයන් කරා යන්නේ කොහොමද කියලා උපදෙස් දෙනවා. මේ වගේ ආදරණීය ගුරුතුමියක් නැති වුණා කියලා කිවුවාම අපිට හිතාගන්න බැරි වුණා. අපේ මිස් කොහේ හරි ඉඳගෙන අපිට යන්න පුළුවන් ගමන අපිට පෙන්නයි කියලා අපි හිතනවා.
ඇයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් ඊයේ 21 තලවතුගොඩ වික්‍රමසිංහපුර පිහිටි ඇයගේ නිෙවසේ සිදු කෙරුණේ මහා සංඝරත්නය විසිනි.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තලවතුගොඩ පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි. ඇයගේ දේහය මිහිදන් වූයේ දෙමාපියන්, ආදරණීයයන් ඇයගේ සහෘදයන්, ඥාති මිත්‍රාදීන්, කලාකරුවන්, විද්වතුන් සැමගේ සෝ සුසුම් කඳුළැලි මධ්‍යයේය.
ලංකාවට මිණි පහනක් වීමට සිටි ලක්මිණි සුරංගනාවියට අවිනීත රියැදුරෙකුගෙන් සිදු වූ ජීවිත පැහැර ගැනීම අන් අයෙකුට නොවේවායි අපි ප්‍රාර්ථනා කරන අතර දිනමිණ ඇයට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරයි.