මාර්ගගත (Online) ක්‍රමයට හෙට (01 වැනිදා) සිට ඉඩම් සිතියම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇතැයි මැනුම්පති වයි.ජී. ඥානතිලක පැවසීය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සැමරුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
එම දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය හෙට (01 වැනිදා)ට යෙදී ඇති අතර, එදිනට සමරු මුද්දරයක් නිකුත් කිරීමටද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙතෙක් කාලයක් මහජනතාවට සිතියම් ලබාදීමේ කටයුතු කරනු ලැබුවේ දෙපාර්තමේන්තුවේ කාර්යාල වලින් බවද මාර්ගගත ක්‍රමයට අදාළ ගෙවීම් සිදුකර සිතියම් ලබා ගැනීමට ජනතාවට අවකාශය සැලසෙන බවද හෙතෙම කීවේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉඩම් තොරතුරු දත්ත පද්ධතිය ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවී මහජනතාවට ඉඩම් තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සලසන බවද ඔහු කීවේය.
දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සියලු සිතියම් සහ සැලසුම් ඩිජිටල්කරණයට ලක්කර තිබෙන බවද, මේ වනවිට ඉඩම් කැබැලි ලක්ෂ 24 කට ආසන්න ප්‍රමාණයක් මැනුම්කර දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට ගොනුකර ඇතැයිද මැනුම්පතිවරයා පැවසීය.
තවද ඉඩම මැනිමට අදාළ තොරතුරු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කර තිබෙන බවත් ඉඩම් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හිමිකම් සහතික සකස් කිරීමේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල්කරණයට ලක්කර ඇති පිඹුරු, දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට අවකාශය සලසා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.