මවුන්ට් ලැවීනියා මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පසුගිය සිකුරාදා (10) සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් එහි දී පොලිස් නිලධාරියකු අතින් ප්‍රහාරයකට ලක් වූ බව කියන නීතිඥවරයාගේ හැසිරීම ගැන මවුන්ට් ලැවීනියා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ නීතිඥවරයා, තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු ද සමඟ, නිල රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියාට වාචිකව අපහාස කර, රාජකාරියට බාධා කළ බවට ලැබුණු චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව පොලිසිය පවසයි.
මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, උසාවි පරිශ්‍රයෙන් සිය වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී අදාළ පොලිස් නිලධාරියා තමන්ට ප්‍රහාර එල්ල කළ බවට නීතිඥවරයා කළ මුල් පැමිණිල්ලෙන් පසුවය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අදාළ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන පොලිසිය විසින් ලබාගෙන ඇති අතර, ඒවා විමර්ශන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. එමෙන්ම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මවුන්ට් ලැවීනියා කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.