පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂයට සහාය දෙනවා – විමල් වීරවංශ කියයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජාතික නිදහස් පෙරමුණ විපක්ෂයේ පක්ෂවලට කොන්දේසි සහිතව සහාය ලබාදෙන බව එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය. එම පක්ෂය ඊයේ (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය. කවර තත්ත්වයක් හමුවේ වුවත් වර්තමාන නොරටුන්ගේ පුනරුද පාලනයට කිසිසේත සහාය නොදීමට තීරණය කර තිබෙන බව ද හෙතෙම කීවේය.

විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

වසර 76ක් ගියා ලුණු පැකට් එකක් රුපියල් 60ක් වෙන්න. මාස 07කින් හැටේ තිබුණ ලුණු පැකට් එක රුපියල් 450ක් විතර වෙලා තිබෙනවා. මේකටත් තිබුණ ආණ්ඩු වගකියන්න ඕන කියලා කියනවා. අද ගුරු පත්වීම ගත්ත කෙනාට හෙට ප්‍රින්සිපල්කම දුන්න වගේ කිසිම දෙයක් දුර දිග බලලා වැඩ කරන්න බැහැ. ලුණුවලින්, හාල්වලින් පවා මාටිය ගහන්න පටන් ගෙන තිබෙනවා. පිටරටින් ගෙනාපු හාල්වලට රුපියල් හැටක බද්දක් ගැහුවම ගෙන්වපු කෙනාට කොහොම ලාභයක් ඇද්ද. වත්මන් ආණ්ඩුව නුදුරු දිනකදීම 25% ත් 30%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට සූදානම්. එවැනි තත්ත්වයක් යටතේ ජන ජීවිතය පමණක් නොව, මුළු මහත් කර්මාන්ත පද්ධතියම ඉතා විශාල අර්බුදයක් කරා තල්ලු වෙනවා. ඒ වගේම 2024 වසර අවසානයේදීත් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය මාස 7කදී පාඩු ලැබුවේ කෙසේද යන ප්‍රශ්නය තිබෙනවා. ලබන මාසය වන විට විදුලිබල මණ්ඩලය කැබැලි කර විකුණා දැමීම ආරම්භ වීමට නියමිතයි. එවැනි තත්ත්වයකදී විදුලි බිල මීටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *