මෙරට ළමා මන්දපෝෂණය සහ අඩුබර ගැහැණු දරුවන් සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් පළකර තිබෙන තොරතුරු, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.
The Lancet නමින් හදුන්වන අදාල සගරාව, දීර්ඝ ඉතිහාසයක් තිබෙන කීර්තිමත් සගරාවක් බව පැවසේ. මේ වන විට සතිපතා නිකුත්වන එය, මුල් වරට ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1823 වසරේ දී ය.
ද ලැන්සට් සඟරාව පළ කර තිබෙන ලිපියට අනුව, මෙරට ගැහැණු දැරිවියන්ගෙන් හාර ලක්ෂ දස දහසක්, අඩුබර දරුවන් ය. එය සමස්ත ගැහැණු දරුවන්ගෙන් 16.4% කි.
දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබුණද, 1990 සිට මේ තත්ත්වයේ වැඩි වෙනසක් සිදුව නැති බව සගරාව වාර්තා කර තිබේ.
ද ලැන්සට් සඟරාව, 1990 සිට 2022 වසර දක්වා ආවරණය වන පරිදි සොයා ගත් දත්ත අනුව, වයස අවුරුදු 5 ත් 19 ත් අතර අඩුබර ගැහැණු දරුවන් වැඩියෙන්ම සිටින රටවල් අතර දෙවන ස්ථානයේ ලංකාව පසුවෙයි. ගෝලීයව ගත් විට ලංකාව මෙහිදී දෙවැනි වී ඇත්තේ ඉන්දියාවට පමණි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ තත්ත්වය ලංකාවේ තරමටම නරක නොවේ. ඊට හේතුව, 1990 සිට ගෙවුණු වසර 33 ක කාලය තුළ, ඉන්දියාවේ අඩු බර පුද්ගලයන්ගේ ව්‍යාප්තිය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතීම යි.
අදාල වාර්තාවේ ලංකාව සම්බන්ධයෙන් හෙළි කර තිබෙන කරුණු ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල මහතා මෙන්ම, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමලීද සිල්වා මහත්මිය ද පවසා ඇත්තේ ලැන්සට් වාර්තාව සකස් කිරීම සදහා ලබාගෙන තිබෙන දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවයි.