රාජපක්ෂලාට ආයේ කවදාවත් ඡන්දේ ඉල්ලන්න බැරි වෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න යයි

රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී 17දා යෝජනා කළේය.

ඒ සඳහා ක්‍රියා කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඉදිරි කටයුතු ගත යුතු යැයි ද හෙතෙම ඉල්ලා සිටි අතර ඉහත කණ්ඩායමෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සජබය කටයුතු කරන බව ද කීය. මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂපාතී ලෙස අනුර කුමාර දිසානායක සහ විමල් වීරවංශ යන මහත්වරු ද අදහස් පළ කළහ. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊට විරුද්ධව අදහස් කීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය – දැන් මුළු රටේම ඉල්ලුමක් තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් දෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවාද කියලා රට අහනවා. ඒ නිසා මේ අයට තව දුරටත් සිවිල් අයිතිවාසිකම් ලබා දීම නුසුදුසුයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවන්නේ ජනාධිපති විශේෂ කොමිසමක් හරහායි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි කියලා අපි මේ අවස්ථාවේ රටේ ලක්ෂ දෙසීය විස්ස වෙනුවෙන් යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *