පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම මාවතේ නිවෙසින් ඉවත්ව ගොස් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවෙස නිසි ලෙස භාරදීමට පියවර ගෙන නැතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පසුගිය 10 වැනිදා සම්මත වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා පැය 24ක් තුළ විජේරාම මාවතේ රජයේ නිවසින් ඉවත්ව තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවෙස වූ කාල්ටන් නිවෙසට ගියේය. ඒ යන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් මාධ්‍ය වෙත දැනුම්දෙනු ලැබුවේ සති දෙකක් ඇතුළත නිෙවස නිල වශයෙන් රජයට භාරදීමට පියවර ගන්නා බවය. එම සති දෙකක කාලය පසුගිය 24 වැනිදායින් අවසන් විය. ඒ සම්බන්ධයෙන් සිහිකැඳවීමක් යොමුකර ඇති බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම නිවෙසේ ඉන්වෙන්ට්‍රිගත භාණ්ඩවල හිමිකාරීත්වය ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට බවත්, නිල නිෙවස සහ පරිශ්‍රයේ හිමිකාරීත්වය ඇත්තේ තම අමාත්‍යාංශය යටතට බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් පසුගිය 24 වැනිදා පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ විජේරාම මාවතේ ඇති නිල නිවෙස හා ඉන්වෙන්ට්‍රි භාණ්ඩ විධිමත් ලෙස භාරදෙන ලෙසය.
එසේම පස්වැනි විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් ලබා දී ඇති නිල වාහන ද ජනාධිපති කාර්යාලය වෙත විධිමත් ලෙස භාරදෙන ලෙස ද එම ලිපියෙන්ම දැනුම් දී තිබේ.
පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් සහ ලෑන්ඩ් රෝවර් රථයක් ලබා දී ඇති බව සඳහන්ය. වෙඩි නොවදින රථය අලුත්වැඩියාවක් සඳහා මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇති බව ද ආරංචිමාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන් වෙත පූර්වයෙන් පැවති විධිවිධාන යටතේ මාසික විශ්‍රාම වැටුපට එක්කර ගෙවන ලද ලේකම් දීමනාව හා මාසික උපරිම ඉන්ධන ලීටර් 900ක වටිනාකමට යටත්ව ගෙවන ලද ඉන්ධන දීමනාව ද පසුගිය 10 වැනිදා සිට ගෙවීම් නොකරන බව ද ජනාධිපති ලේකම්වරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.