ස්ලිට් වංචාව ඉතා සූක්ෂ්මව කරලා – වංචාවේ වර්තමාන වටිනාකම බිලියන 50ක් හිටපු ඇමති විජේදාස කියයි

මාලබේ උසස් තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය පවරා ගැනීමේ වංචාවේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 50000 ඉක්මවන බව හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (17) හිටපු ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේද පැවසීය.

ස්ලිට් වංචාව ඉතා සූක්ෂ්ම ලෙස සිදුකළ වංචාවක්. මේ වංචාව කරලා තියෙන්නේ මහපොළ භාරකාර අරමුදල යටතේ ඇති කළ මාලඹේ උසස් තාක්ෂණ ආයතනය පාලනය කිරීම සඳහා පත් කර තිබූ ගැරන්ට් සමාගමක් හරහා.

මුලින්ම ස්ලිට් ආයතනයට අධ්‍යක්ෂකවරු අටදෙනයි. ඒ අටදෙනා රජයේ නිලතල දරන නිලධාරීන්. ඒ අතර හිටපු වෙළෙඳ ඇමැති කිංස්ලි වික්‍රමරත්නගේ බෑනණුවන් මහාචාර්ය ලලිත් ගමගේ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විදියට පත් කළේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයෙක් නිසා. ඔහුගේ හැඳුනුම්කම් මත ලක්ෂ්මන් රත්නායක නමින් තවත් මහාචාර්යවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර තිබුණා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියා. මේ අය විශ්‍රාම ගැනීමේදී රජය ඒ පිළිබඳ තැකීමක් නොකරපු අවස්ථාවේදී අදාළ මහාචාර්යවරුන් ඔවුන්ගේ හිත මිත්‍රයන් මේ තනතුරු සියල්ලටම පුරවාගෙන තිබෙනවා. ඒ අනුව මේක රජයටත් නොදැනීම පෞද්ගලික අධ්‍යක්ෂවරු පාලනය කරන උසස් තාක්ෂණ සමාගමක් බවට පත් වෙලා. මේක ප්‍රයෝජනයට අරගෙන කුමන්ත්‍රණයේ දෙවැනි කොටස විදියට මෙහි අයිතිය පැහැර ගැනීමේ ක්‍රියාවලිය යොදා ගත්තා.

මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලයේ කිසිම අනුමැතියක් නැතුව මේ විශ්වවිද්‍යාලයේ රුපියල් මිලියන 406ක මුදලක් සඳහන් කරලා උසස් තාක්ෂණ ගැරන්ට් සමාගමට පවරා දී තිබෙනවා. මහපොළ භාරකාර අරමුදලේ සභාපති එවකට සිටි අග්‍ර විනිශ්චයකාර කේ. ශ්‍රී පවන් මහතාගෙන් අපි මේ පිළිබඳව විමසුම විට එතුමා පැහැදිලිව කිව්වා මහපොළ භාරකාර අරමුදලේ මෙවැනි යෝජනාවක් සම්මත වුණේ නැහැ කියලා. අග්‍ර විනිශ්චකාරවරයාට, වික්‍රම වීරසූරිය කරුණු දක්වා තිබෙන්නේ මහපොළ අරමුදලට මාලඹේ උසස් තාක්ෂණ ආයතනයෙන් එන්න තිබෙන ණය වෙනුවෙන් ගෙනා රුපියල් මිලියන 406 මුදල භාරගන්න කියලා විතරයි. නමුත් ඔප්පුව ලියලා තිබෙන්නේ මේ ගැන නොවෙයි. එහෙම ණය දීමක් සිදුවෙලා නැහැ. මේ ආයතනය මුළුමනින්ම මහපොළෙන් තමයි ඉදි කළේ.

මේ ඇතිකරගත් ගිවිසුම අනුව 2015දී ආයතනය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ පාලනයට යටත් වෙලා තිබෙනවා. ස්ලිට් ආයතනයේ වංචාව වර්තමානයේ ගණන් බැලුවොත් රුපියල් මිලියන 50000කට වැඩියි. 2015දී එම වංචාව රුපියල් මිලියන 20000 පමණ තක්සේරුවක්. ආයතනය කුමන්ත්‍රණකාරී ලෙස පවරාගෙන තිබෙන්නේ රුපියල් මිලියන 406කටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *