ස්ලිට් ආයතනයේ භාරකාරත්වය මහපොළ අරමුදල වෙත යළි ලබාගන්නා බවත් එහි ආදායමෙන් මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කිරීමටත් ස්ලිට් ආයතනයේ පාඨමාලා සහනදායී ලෙස පවත්වාගෙන යෑමටත් කටයුතු කරන බවත් වෙළෙඳ වාණිජ, පාරිභෝගික සේවා ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
ස්ලිට් ආයතනය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව දුන් නිර්දේශ නොතකා පසුගිය ආණ්ඩුව 2017දී එම ආයතනය දුන්නා. මීට පෙර ආණ්ඩුවේ ජනාධිපති අගමැති, ඇමැති මණ්ඩලය වගකිව යුතුයි.
මහපොළ භාර අරමුදල සතු දේපළක් මේ විදිහට අවභාවිත කිරීම පිළිබඳව ජනාධිපති කොමිසමක් වාර්තාවක් දී තිබියදී එය නොසලකා කැබිනට් එක තීරණයක් ගත්තා. මිලියන 408ක් ගෙවා තිබෙනවා. ස්ලිට් ආයතනය පවත්වාගෙන යන්න මහපොළ භාරකාර මණ්ඩලය පාලක මණ්ඩලයට භාර දුන්නා. ඒක ඇපෙන් සීමිත සමාගමක් හදලයි මේක දෙන්නේ. අවසානයේදී එම ආයතනය ඇපෙන් සීමිත සමාගමෙන් ගලවා ගන්න බැරිවෙනවා. තවමත් ඔවුන් සතුයි.
2015 වන විට ස්ලිට් ආයතනය සතුව රුපියල් මිලියන 1049ක් රඳවා ගත් ලාභයක් තිබුණා. ඊට භාරකරුවන් එකතුවෙලා එම ගිණුමෙන්ම මිලියන 408ක් අරගෙන මහපොළට දෙනවා. අවසානයේදී නීති විරෝධී ගිවිසුමක් ගහලා ස්ලිට් එක සල්ලිවලින්ම ස්ලිට් එක මිලදී ගන්නවා. මේක බරපතළ අපරාධයක්. හිටපු කැබිනට් මණ්ඩලය මීට වගකිව යුතුයි. මීට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අරගෙන සී.අයි.ඩී. එකටත් අල්ලස් කොමිසමටත් පැමිණිලි කරන්න කෝප් එක දැනුම් දුන්නා. ඒ වගේම අපරාධකරුවන්ට විරුද්ධව ක්‍රියා කරනවා.
ස්ලිට් ආයතනයේ භාරකාරත්වය මහපොළ අරමුදල වෙතට යළි ලබාගෙන එහි ආදායමින් මහපොළ ශිෂ්‍යාධාර විශාල ප්‍රමාණයක් වැඩි කිරීමටත් ස්ලිට් ආයතනයේ දරුවන්ට සහනදායී ලෙස පාඨමාලා පවත්වාගෙන යෑමටත් හැකියාව තිබෙනවා.