ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයන කිරීමේ සිද්ධයට අදාළ නඩුවේ සියලුම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
මේ අතර මෙම ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනද මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුලු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
නඩු විභාගය ආරම්භ කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට ඇතුළුවී විමර්ශන කටයුතු මේවනවිට සිදුකෙරෙමින් පවතින බවයි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ පරිගණක කිහිපයක් පිළිබඳ විශේෂ පරීක්ෂාවට අදාළ විමර්ශන වාර්තාවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කළා.
”ස්වාමිණී, අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තු 03ක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ඉන් ඖෂධ කාණ්ඩ 182ක සහ ඖෂධ කාණ්ඩ 285ක ලැයිස්තුවලට අදාළ විමර්ශන මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර අවසන්.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණය හමුවේ විශේෂ අනාවරණයක් සිදුකරමින් පැවසුවේ ඉමියුනෝග්ලොබියුලින් එන්නතට අමතරව රිටොක්ෂිමැබ් නමැති පිළිකා නාශක ඖෂධ 2,250ක ඇනවුමක් ආනයනය කිරීමටද මෙම ප්‍රශ්නගත සිද්ධියේ සැපයුම්කරුට වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩරයක් ලබාදී ඇති බවයි සැපයුම්කරු ආනයනය කර ඇත්තේ එම ඖෂධ 2,200ක් පමණක් බවද එහිදී හෙළි වුණා.
එමෙන්ම මෙම පිළිකා නාශක ඖෂධවල මොනික්ලෝඩල් ප්‍රෝටීනය අන්තර්ගතවිය යුතු නමුත් සැපයුම්කරු ආනයනය කළ එම ඖෂධ තුළ එම ප්‍රෝටීනය අඩංගු වී නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා
මෙම ඖෂධ ආනයනය කිරීමට සැපයුම්කරුට රුපියල් ලක්ෂ 1,000කට ආසන්න මුදලක් ලබාදී ඇති බවද හෙළි වුණා.
එමෙන්ම ප්‍රමාණවත් තරම් රටතුළ රිටොක්ෂිමැබ් පිළිකා නාශක ඖෂධය පැවති පසුබිමකයි හදිසි මිලදී ගැනීම් ලෙස එම තත්ත්වයෙන් බාල ඖෂධය ආනයනය කර ඇත්තේ.
එම බාල පිළිකා නාශක ඖෂධය මෙරට රෝහල්වලට ද ලබාදී ඇති බව තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නා.
”ස්වාමිණී, අප මේ සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලෙන් සවිස්තර වාර්තාවක් කැඳවනු ලැබුවා ඊට අනුව තහවුරු වුණේ ඉමියුනෝග්ලොබියුලීන් එන්නත මෙන්ම මෙම රිටොක්සි මැප් ඖෂධයත් හුදෙක් ද්‍රාවණයක් පමණක් බවයි”
මේ අතර මෙම නඩු කටයුත්තේ පැමිණිලි පාර්ශ්වය ලෙස කටයුතු කරන දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ආධාරකරුවන් තම සේවා දායකයාට තර්ජනය කරමින් බලපෑම් එල්ල කරන බවයි.
එහිදී මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙම තර්ජනය කිරීමට අදාළව පොලිස් පැමිණිල්ලක් තිබේදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කලේ මරදාන පොලිසියේ ඊට අදාළ පැමිණිල්ලක් ඇති බවයි.
ඒ අනුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිසියට නියෝග කළේ එම පැමිණිල්ලට අදාළ පරීක්ෂණ සිදුකර සුදුසු පියවර ගන්නා ලෙසයි.
මේ අතර ඊයේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන එම නඩුවේ 11 වැනි විත්තිකරු ලෙස ඇතුළත් කර ගැනීමට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
එහිදී වෛද්‍ය තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.
විදෙස්ගතව අධ්‍යාපනය හදාරන සිය සේවාදායකයා ස්වේච්ඡාවෙන් ප්‍රකාශ ලබාදීමට මෙරටට පැමිණි බැවින් යළිත් විදෙස්ගතවීමට අවශ්‍ය අවසරය සහ ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කළේ රිටොක්ෂිමැබ් නමැති පිළිකා නාශක ඖෂධය ආනයනයට ආදළ අවසරය ලබාදී ඇත්තේ මෙම විතතිකරු විසින් බවයි.
ඒ අනුව දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන් සහ මොහු එකම තරාතිරමක සිටින බැවින් ඇප ලබාදීම සඳහා මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස දැක්විය නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වෛද්‍ය තුසිත සුදර්ශන මෙම නඩු කටයුත්තේ 11 වැනි විත්තිකරු ලෙස ඇතුලත් කර ගැනීමට අවසර ලබාදුන්නා.
ඒ අනුව මෙතෙක් ඉදිරිපත් වී ඇති සියළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්තේ දැනට බන්ධනාගාරගත කර සිටින සියලුම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරුණු ලැබුවා.
නඩු කටයුත්ත අවසන් වනතෙක් කිසිදු විත්තිකරුවෙකුට ඇප ලබාදීමක් සිදු නොකරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩි දුරටත් සඳහන් කළේ.
ඒ අනුව සැකකරුවන් සියලු දෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රිටොක්ෂිමැබ් නමැති පිළිකා ඖෂධය මිල දී ගැනීමේදී වංචා සහගත ලෙස රජයට පාඩුවක් සිදුවී ඇති බවට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියා.
මේ අතර කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අද පිළිතුරු ලබාදුන්නා.