මෑතකදී නවීකරණය කර ජනතා අයිතියට පත් කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට අලාභහානි කර සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පිටකොටුව පොලිසිය සමත්ව තිබේ.
පසුගිය අප්‍රේල් 08 වන දින විවෘත කරන ලද මෙම බස් නැවතුම්පොළේ දේපළවලට හානි සිදුව ඇති බවට එම ඒකකයේ සුභසාධක අංශය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.
විමර්ශන නිලධාරීන් විසින් අප්‍රේල් 11 වන දින කැලණිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් සොරකම් කරන ලද දේපළවලින් කොටසක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සිදු වී ඇති දේපළ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතය.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.