ජනමතය තේරුම් ගෙන ඉදිරි දේශපාලන තීන්දු ගන්නවා – නාමල් රාජපක්ෂ

වගකිවයුතු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හැටියට ජනමතය තේරුම් ගෙන දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවත් ඒ අනුව දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව පැවැසූ ඔහු මෙසේද කීය.

“පක්ෂයක් විදිහට අපි ලොකු අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ අභියෝගයන්ට අපි සාර්ථකව මුහුණ දුන්නා. පහුගිය ජනාධිපතිවරණයේදී අපිට අපේක්ෂකයෙක් හිටියේ නෑ. නමුත් අපි කඳවුර ආරක්ෂා කළා. එය ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට පළාත් පාලන ආයතන 270කට වැඩි ප්‍රමාණයකට තරග කිරීමට පක්ෂයක් ඉතුරු වුණා. ඒ තුළ මං විශ්වාස කරනවා පසුගිය කාලසීමාව තුළ වූ අඩුපාඩු හඳුනාගෙන පක්ෂයක් විදිහට නවීකරණය වුණා.

පක්ෂ අභ්‍යන්තරය තුළ යම් වෙනස්කම් කළා. රටට ඔබින ප්‍රතිපත්ති ආරක්ෂා කරන ගමන් නවීකරණය කරා අපි ගමන් කළා. ඒ අනුව මෙම මැතිවරණයට ඉදිරිපත් වුණා. තරුණ කාන්තා නියෝජනය වැඩිකර නූතන දේශපාලන පරපුරේ පක්ෂයක් ලෙසට පරිවර්තනය කළා.

එදා මහින්ද රාජපක්ෂ මෙරටට කරපු වැඩ සහ එදා තිබූ දැක්මත් දර්ශනයත් එක්ක ගොඩනැඟුණු පක්ෂය අද අලුත් පරම්පරාවට ඕනෙ පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *