කරන්ට් බිල වැඩි කරේ තොපි නිසා කියා මනු කියවන්නාට ඇදුම් ඉරෙනකම්ම පහර දෙයි

මිනුවන්ගැටේ, එබවලපිටිය ගම්මානයේ නිවෙසකට විදුලි බිල ලබා දීමට පෙරේදා (21) ගිය මනුකියවන්නකුට නිවෙස් හිමියාත් ඔහුගේ සහෝදරයකුත් එක්ව පහරදී ඔහු හැඳ සිටි ඇඳුම් ඉරා ජංගම දුරකතනය පොළොවේ ගසා කුඩුපට්ටම් කර පලාගොස් ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.

විදුලිබල මණ්ඩලයේ වාරියපොළ කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මනුකියවන්නකු මෙසේ පහර කෑමට ලක්ව ඇත. ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මෙම මනුකියවන්නා අජන්ත නමැති අයකුගේ නිවෙසේ විදුලි මීටරය කියවා බිල්පත ලබාදීමට යෑමේදී යාබද නිවෙසක පදිංචිව සිටින සුසන්ත නමැති අය සමඟ අජන්ත නමැති අය මත්පැන් පානය කරමින් සිට ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෙම පහර දීම කර ඇත්තේ මනුකියවන්නා සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන බව පොලිසිය කියයි.

මෙම පහර දීමට මුල විදුලි බිල සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බවත් බීමත්කම බවත් විමර්ශනයේදී පෙනී ගිය බව වාරියපොළ පොලිසියේ විමර්ශන භාර නිලධාරියෙක් සඳහන් කළේය.

මනුකියවන්නට පහරදී පලාගිය වැඩිමල් සහෝදරයා වන අජන්ත නමැති අය ඊයේ (22) අත්අඩංගුවට ගත් බවත් සුසන්ත නමැති සහෝදරයා සැඟවී සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *