වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින ගෞරවය බිඳවැටී, උන්වහන්සේලා දැඩි අසරණභාවයට පත්ව ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ සැලසුම් සහගත කණ්ඩායම් හරහා භික්ෂූන් වහන්සේලාට අපහාස කරන තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය කර ඇති බවයි.
භික්ෂුවට එල්ල වන ප්‍රහාර සහ ‘වනචාරී’ ලේබලය
අද වන විට කාන්තාවන් පවා ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට දෝෂාරෝපණය කරන මට්ටමට සමාජ මනස සකස් කර ඇති බව උන්වහන්සේ පැවසූහ.
මෙම අපහාස කිරීම් පිටුපස නිරාගාමික සහ සමලිංගික කණ්ඩායම් ක්‍රියාත්මක වන බවට උන්වහන්සේ චෝදනා කළහ.
රජයේ ඇතැම් ප්‍රධානීන් භික්ෂූන් වහන්සේලා ‘වනචාරීන්’ ලෙස හැඳින්වීම පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ බුදුරජාණන් වහන්සේ, මිහිඳු හිමියන් මෙන්ම ජේසුස් වහන්සේගේ පවා ආගමික කටයුතු හා උප්පත්තිය වනාන්තරය හා බැඳී පැවති උතුම් කාර්යයන් බවයි.
“සිංහල බෞද්ධයන්ට කවුරුත් නෑ”
අන්‍යාගමික ප්‍රජාවන්ට ජාත්‍යන්තර සහයෝගය ලැබුණද, ලාංකේය බෞද්ධ ජනතාව අද අනාථ වී ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
“ඉස්ලාම් දහමට මැදපෙරදිග උදව් කරනවා, දෙමළ සහෝදරයන්ට ඉන්දියාවේ බලපෑම තියෙනවා, කතෝලික ප්‍රජාවට වතිකානුවේ සහාය ලැබෙනවා. ඒත් මේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට අද කවුරුත් නෑ.”
පෙබරවාරි 20 විශේෂ සංඝ කතිකාවත
රට නිවැරදි මාවතට ගැනීම සඳහා රජයට අවවාද අනුශාසනා ලබාදීමට පෙබරවාරි 20 වන සිකුරාදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී විශේෂ සංඝ කතිකාවතක් පවත්වන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
- මෙයට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශව 30ක නායක හිමිවරුන් සහභාගී වීමට නියමිතය.
- ජනාධිපතිවරයාට තවත් වසර 4ක කාලයක් ඇති බැවින්, මහා සංඝරත්නයේ අවවාද පිළිපදින ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට හෝ හිරගෙවල්වල ලගින්නට වුවද සූදානම් බව මිහින්තලේ හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.