මිල්කෝ හයිලන්ඩ් සහ NLDB ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීම තහවුරුයි – දේපල තක්සේරුවත් අරඹයි

ඉන්දියාවේ අමූල් සමාගම හා මෙරට පුද්ගලික සමාගමක් එක්ව පිහිටුවන ලද සමාගමකට ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB) සහ මිල්කෝ ආයතනය බදුදීමට අදාළව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් එම සමාගම්වල දේපොළ තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් සිටී.

ඒ අනුව, ජාතික පශු සම්පත් මණ්ඩලයේ තක්සේරු කිරීම් කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන් කර ඇතැයි එම මණ්ඩලයේ ඉහළ නිලධාරියකු පැවසුවේය.

මෙම මණ්ඩලය සතුව ඉඩම් අක්කර 30000ක් සහ ගොවි පොළවල් 32ක් පවතින අතර මණ්ඩලයේ පොල් ඉඩම්වලින් වසරකට පොල් ගෙඩි මිලියන 18ක පමණ අස්වැන්නක් ලබා ගනී.

මණ්ඩලයේ ගොවිපොළවල ගවයින් 10000ක්, එළුවන් 3000ක්, බැටලුවන් 6000ක්, මී ගවයින් 3000ක්, කුකුල්ලු ලක්ෂ 3ක් පමණ සිටින අතර එම සතුන් සහ මණ්ඩලයේ යන්ත්‍රෝපකරණ නව සමාගමට අලෙවි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කිරීමේ කටයුතු සිදුකරන බවද පැවසේ.

කෙසේ නමුත් ජාතික පශු සම්පත් මණ්ඩලයේ අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු බොහෝ ප්‍රදේශවල ගොවිපොළවල් රැසක් කැලෑ වැදී ඇත.

මේ අතර මිල්කෝ සමාගම මාසයකට රුපියල් මිලියන 117ක පාඩුවක් ලබන බවද අනාවරණය වේ.

මෙම සමාගමේ දෛනික නිෂ්පාදන කටයුතු සඳහා කිරි ලීටර් 360000ත්, 400000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වූවද මේ වන විට දෛනික නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ කිරි ලීටර් 60000කින් පමණ බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

සමාගම දිගින් දිගටම ලබන පාඩුව වළක්වා ගැනීම සඳහා එහි නිෂ්පාදන ධාරිතාවය ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර මිල්කෝ සමාගමේ නිෂ්පාදනවල මිල ගණන්ද වැඩිකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *