මිල්කෝ සමාගමට අයත් දැනට අතහැර දමා තිබෙන බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට රජය රුපියල් බිලියන 03ක් ලබාදී ඇත. දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් සැකසිය හැකි නවීන කිරි කර්මාන්තශාලාවක් ලෙස මෙය 2027 වසරේ මුල් භාගයේ විවෘත කර මෙරට ආර්ථිකයට දායක කර ගැනීමට නියමිතය.
මේ කටයුතු නිරීක්ෂණය කිරීමට මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පෙරේදා (06) එහි චාරිකාවක නිරත විය.
බඩල්ගම කිරි කර්මාන්තශාලාව අක්කර 35ක භූමියක් පුරා පැතිර පවතින යූරෝ මිලියන 63.9ක ආයෝජනයකි. 2016 වසරේ ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ මූලික කටයුතු අවසන් වීමට තිබුණේ 2019 වසරේදීය. විවිධ හේතු කාරණා නිසා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති අතර දැනට කිසිම ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා තිබෙන මේ ව්‍යාපෘතිය පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා විශේෂ අවධානය යොමු කළේය. එහිදී ඇමැතිවරයාගේ උපදෙස් මත මිල්කෝ සභාපති ඇතුළු ඉහළ කළමනාකාරීත්වය විසින් මේ කිරි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමේ මූලික කටයුතු වශයෙන් මේ ගොඩනැඟිලි ඇතුළු යන්ත්රසූත්ර නිරීක්ෂණය කළේය.
මිල්කෝ සභාපති හේමජීව ගෝඨාභය මහතා බඩල්ගම කිරි කර්මාන්තශාලාව සහ මිල්කෝ සමාගමේ ඉදිරි ඉලක්ක සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළේය.
“ අපේ රටේ ජාතික ධනය රුපියල් බිලියන 18ක් වියදම් කර අත්හැර තිබෙන සම්පතක් මේ බඩල්ගම කිරි කර්මාන්තශාලාව. මිල්කෝ සමාගම 2025 අවුරුද්දේදී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉතාමත් හොඳ දායකත්වයක් දෙමින් මිල්කෝ ආයතනය සම්පූර්ණයෙන්ම තම ව්‍යාපාරික කටයුතු හොඳ මට්ටමකට ගෙනැවිත් ඉතිහාසයේ වැඩිම ආදායම සහ වැඩිම ලාභය වාර්තා කළා. ඒ 2025 වර්ෂයේ අපේ ඉලක්කය. 2026 වසරේ අපේ තවත් සුවිශේෂී අභියෝගයක් වන්නේ රුපියල් බිලියන 18ක ජාතික ධනය වියදම් කර පැත්තකට කර තිබුණු බඩල්ගම කිරි කර්මාන්තශාලාව නැවත වතාවක් මේ කිරි නිෂ්පාදන කර්මාන්තයට රැගෙන ඒමයි. අපේ රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් මේ කර්මාන්තශාලාව ප්‍රයෝජනයට ගත හැකි මට්ටමට වැඩි දියුණු කර ඉදිරියට ගෙන ඒම අපේ ඉලක්කයයි. මෙය 2026 අවුරුද්දේ මිල්කෝ සමාගමේ ප්‍රධාන අභියෝගය. මේ සඳහා අපට රජය ජනාධිපතිගේ උපදෙස් මත රුපියල් බිලියන 3ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. එම ප්‍රතිපාදනවලින් මේ කර්මාන්තශාලාව නැවත ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට හැකි වෙතැයි අපේක්ෂා කරනවා.
බඩල්ගම මේ කර්මාන්ත ශාලාව, කිරි ලීටර් ලක්ෂ 2ක් දවසකට සැකසිය හැකි අතිනවීන කිරි කර්මාන්තශාලාවක් ලෙස 2027 අවුරුද්දේ මුල් භාගය වන විට සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වෙනවා . අපි මේ 2019 ඉවර කරන්න දුන්න කිරි කර්මාන්තශාලාවක් මේ දක්වා ක්‍රියාත්මක නොවීමෙන් අපට වී තිබෙන පාඩුව අතිවිශාලයි. අවුරුද්දකට අපි පොලිය පමණක් රුපියල් බිලියනයකට වැඩිය ගෙවමින් ජාතික ධනය නාස්ති කරනවා. ඒ එක කිරි බිංදුවක්වත් සකසන්නේ නැතිව. මේ නිසා මේ අපරාධය හැකි ඉක්මනින්ම නිවැරදි කරන්න ඕනෑ. ඒ සඳහා මගේ අධ්යක්ෂ මණ්ඩලය සහ අපේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සියලුදෙනා එකතු වී සාමූහිකව මැදිහත් වී තිබෙනවා’යැයි ද මිල්කෝ සභාපතිවරයා අවධාරණය කළේය.