ජනවාරි 16 වනදා සිට ආනයනික කිරිපිටි මිල රු.125කින් පහළට

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කරන ලදි.

ඒ කිරි පිටි ආනයනකරුවන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත අද කැඳවා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් වසන්ත දිසානායක මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා එම සාකච්ඡාවට එක්විය.
ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කරන ලදි.

ඒ අනුව අනිද්දා (16) සිට ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125 කින් අඩු කෙරෙන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කෙරේ.

අප්‍රේල් මාසයේදී යළි කිරිපිටි මිල අඩු කිරීමටද අපේක්‍ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *