අලුත්වැඩියා කරන පළමු බස් රථ 10 මාසයක් ඇතුළත ධාවනයට එක්කරන අතර ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසුවේය.
ලංකා ගමනාගමන මණ්ඩලය භාර ගෙන බස් කර්මාන්තය දියුණු කිරීමට බිමල් රත්නායක අමාත්‍යවරයා තමාට සිදු කළ ආරාධනය පිළිබඳව විමසීමේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලිඛිතව නිල වශයෙන් තමාට ලියවිල්ලක් ලබාදෙනු ඇති බව ත් ඒ අනුව ලං.ග.ම. ට ඇතුළත් වී අදාළ වැඩකටයුතු රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ත් ඔහු කීවේය.
බස් කර්මාන්තයට සම්බන්ධ ඉන්ජිනේරුවරු හා විශේෂඥ දැනුම සහිත වෘත්තිකයන් 50ක් පමණ තමාගේ ආයතනයේ සේවය කරන බව ත් එම කණ්ඩායම සමග මතුගම ඩිපෝවෙන් වැඩ පටන් ගන්නා බව ත් මන්ත්‍රිවරයා කීය.
ඒ අනුව, ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ ලං.ග.ම. බස් සහ කර්මාන්තය 6 මාසයක් ඇතුළත ගොඩ දැමීමට හැකි වෙතැයි ඔහු කීවේය.
පුහුණු කාර්මිකයන්, ඉන්ජිනේරුවරු සහ රජයෙන් අවශ්‍ය සහයෝගය හා පහසුකම් ලැබුණොත් සමස්ත ලංකා ගමනාගමන මණ්ඩලය ම ලාභ ලබන තැනට ගෙන ඒමට හැකි බව ඔහු කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරට ත් මෙසේ ද පැවසීය.
“මම දන්නවා බස්වලට අමතර කොටස් නැහැ. සර්විස් කිරීමට විදිහක් නැහැ. ඒ වගේ ම සේවක අතිරික්තයක් තියෙනවා. මම ආයතනයේ අපේ අයව නොමිලයේ දෙනවා. මාසයක් ඇතුළත දැනට ඉවත් කරලා තියෙන බස් රථ 10ක් හෝ මුලින් හදලා දාන්න පුළුවන් වේවි. අමතර කොටස් ඩුප්‍ලිකේට් ඒවා නෙමෙයි ඔරිජිනල් ඒවා ගන්න ඕනෑ. ඔරිජිනල් ඒවාට හම්බවෙනවා 30% ක විතර වට්ටමක්. දැන් සී.ටී.බී. එකේ ඒ වට්ටම කාට යනවද කියලා හොයාගන්න ඕනෑ. ටයර්වලින් සියයට 30ක්, අමතර කොටස්වලින් සියයට 30ක් 35ක්, බ්‍රේක් ලයිනර්වලින් සියයට 30ක්, ඒ ටික කාගෙ හරි අතට යනවා කියලා මං දන්නවා. ඒ ටික නවත්වන්න ඕනෑ. ඒ ටික කරල මම පටන් ගන්නවා. මම බස් ක්ෂේත්‍රයේ මගේ බස්වල ලාභ ගන්නේ ටිකට් එකෙන් පමණක් නෙමේ. පාඩුව අඩු කරලා ඉතින් මට පහුගිය ඒවා අල්ලන්න ඕනෑ නෑ. ඒවා අල්ලගන්න එක රජය සතු වගකීමක්. පාර්ලිමේන්තුවෙ පක්ෂ විපක්ෂ කියලා තර්ක ගෙනල්ලා ඉලක්කම් පෙන්වලා උක්ත ආඛ්‍යාත පෙන්වලා දගලනවට වඩා වෙනසක් කරන්නත් එක්ක විපක්ෂයේ ඉන්න දක්ෂයොත් එක්ක අපි වැඩ. මම ඒක අංක එකට ම පෙන්වනවා.”