වියදම් අධික අමාත්‍යාංශ වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරනවා – ජනපති අනුර කියයි

ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කිරීමට සැලසුම් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන් ම, රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැඟිලිවලට ගෙන ඒම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයට ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේ ය.

අයවැයෙන් වෙන්කළ මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන අධිකාරිය වියදම් අඩු කර ඇති බැවින් රාජ්‍ය ආයතනවල පරිපාලන වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීම රාජ්‍ය සේවයේ වගකීම බවද ජනාධිපතිවරයා පැවසීය.

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අය-වැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.

ඒ අනුව, වියදම් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව වී ඇති බව පෙන්වා දුන්නේය.

එමෙන් ම, රාජ්‍ය සේවකයන් තුළ ඇති රැකියා අතෘප්තිකාරී බව ද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට හේතුවී ඇති බව ත් එම ගැටලු විසඳමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතු බව ත් දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *