මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට වැරදිකරුවන් වන මහජන නියෝජිතයන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා නව නීති හඳුන්වා දීමේ වැදගත්කම පාර්ශ්ව ගණනාවක් විසින් පෙන්වා දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) යන ආයතන මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත.
මේ පිළිබඳව ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසා ඇත්තේ, දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබා දීමේදී අපේක්ෂකයන්ගේ පසුබිම පරීක්ෂා කිරීම ඉතා වැදගත් බවයි. මත්ද්‍රව්‍ය හෝ වෙනත් අපරාධ චෝදනා නොමැති පුද්ගලයන්ට පමණක් නාමයෝජනා ලබා දීම, එවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස පත්වීම වැළැක්වීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බව ඒ මහතා පෙන්වා දෙයි.
වර්තමාන නීති තත්ත්වය පැහැදිලි කරමින් සභාපතිවරයා මෙසේ පැවසීය:
“අනීතික කටයුතුවලට වැරදිකරුවන් වන මහජන නියෝජිතයන් එම තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනට පවතින්නේ සීමිත නීති ප්‍රතිපාදන ප්‍රමාණයක් පමණයි. වසර දෙකකට වැඩි කාලයක් සිරගත වන මන්ත්‍රීවරුන්ගේ ධුර අහිමි වන බවට නීතියේ සඳහන් වුවද, මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා සම්බන්ධ වැරදි සඳහා විශේෂිත වූ නීති ප්‍රතිපාදනවල අඩුපාඩුවක් පවතී. එබැවින් රටේ නීතියට පටහැනි කටයුතුවලට වැරදිකරුවන් වන මහජන නියෝජිතයන් ධුරවලින් ඉවත් කිරීමට නව නීති පැනවීම කාලෝචිතය.”
මේ අතර, පැෆ්රල් (PAFFREL) ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරන්නේ, මත්ද්‍රව්‍ය හා පාතාල වැරදිවලට වරදකරුවන් වන මහජන නියෝජිතයන්ට හිමිවන සිර දඬුවම් කාලය කුමක් වුවත්, අවම වශයෙන් වසර 10ක කාලයක්වත් ඔවුන්ට දේශපාලනයේ නිරත වීම අවහිර වන ආකාරයේ දැඩි නීති ගෙන ආ යුතු බවයි.
එමෙන්ම, වැරදිකරුවෙකු බව ඔප්පු වීමට අධිකරණ ක්‍රියාමාර්ග සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින්, මත්ද්‍රව්‍ය හෝ පාතාල චෝදනා ලබන මහජන නියෝජිතයන් අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බව ද හෙතෙම යෝජනා කරයි. එවැනි පුද්ගලයන්ට නාමයෝජනා ලබා නොදීමට දේශපාලන පක්ෂ වගබලා ගත යුතු බව ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය