නඩු කටයුතු ප්‍රමාදය සම්බන්ධයෙන් සමාජයේ ඇති වන මතය ආණ්ඩුව සැලකිල්ලට ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (ජන. 27) පැවසීය.
වත්මන් ආණ්ඩුව පත්කර ගැනීමේ අභිලාෂයට සාපේක්ෂව නඩු කටයුතු මන්දගාමී වීම පිළිබඳව නීතිපතිවරයාට චෝදනා එල්ල කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයිතිය ඇතැයි ද හෙතෙම කීවේය.
නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ විමර්ශනය කරන ආයතන හා නඩු පවරන ආයතන උපරිමයෙන් කාර්යක්ෂම කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යොමු වූ පැනයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මෙසේ ද පැවසීය.
“අපිට බහුතර බලයක් ලබාදුන් මැතිවරණ දෙකේදී පමණක් නොව ඊට කලිනුත් සමහර මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ ජනතාව හදපු මතවාදය විසින් තමයි අපව ආණ්ඩුවක් ලෙස ඔසවා තැබුවේ. අපට ලැබුණු ජනවරමේ ප්‍රධානතම දෙයක් තමයි හොරුන්ට, වංචනිකයන්ට, ඝාතකයන්ට දඬුවම් පැමිණ වීම. ඒ ක්‍රියාවලිය ජනතාව බලාපොරොත්තු වේගයට සිදු නොවන විට ජනතාව තුළ විවිධාකාරයේ මත දැක්වීම් එන්න පුළුවන්. මම ඒක ප්‍රතික්ෂේප කරන්නෑ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ මේ පුද්ගලයන්ට අධිචෝදනා ගොනු කරලා ඉක්මණට නඩු ඇසීමේ කටයුතු සිදුවේවි කියලා. සමහර කෙනෙකුට ඕන අධිචෝදනා ගොනු කර කර ඉන්නත් නෙවෙයි. කෙලින් ම දඬුවම් ක්‍රියාත්මක කරන්න. හැබැයි නීතියේ එහෙම හැකියාවක් නෑ. චෝදනා ගොනු කරලා නඩු අහලා තමයි මේක ක්‍රියාත්මක කරන්න වෙන්නේ.
යම් කෙනෙක් මේ නඩු ප්‍රමාදය පිළිබඳව නීතිපතිවරයාට චෝදනා, විවේචන එල්ල කරනවා නම් ඒක ඒ පුද්ගලයාගේ හෝ කණ්ඩායම්වල අයිතිය. මේ පුද්ගල කණ්ඩායම්, ඔහු හෝ ඇය දකිනවා නම් ඔවුන් මේ ආණ්ඩුව පත්කර ගැනීමේ අභිලාෂයට සාපේක්ෂව ඒ කටයුතු මන්දගාමීව සිදුවන්නේ කියලා කෙනෙක් හිතනවා නම් නීතිපතිවරයා ඒකට වගකියන්න ඕන කියලා එයට අයිතියක් තිබෙනවා. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. රජයක් හැටියට අපි කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හෝ සී.අයි.ඩී. එක හෝ එෆ්.සී.අයි.ඩී. එක හෝ පොලිසිය හෝ අපරාධ විමර්ශනය කරන ආයතන, නඩු පවරන ආයතන පුළුවන් උපරිමයෙන් ක්‍රියාකාරී කාර්යක්ෂම සක්‍රීය කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ජනතාවගේ බලාපොරොත්තුවයි ආණ්ඩුවේ බලාපොරොත්තුවයි කියන්නේ දෙකක් නෙමෙයි. ඒක එකක්. අපිට ඡන්දෙ දීපු ජනතාවටත් වඩා වැඩි වුවමනාවක් මේ ආණ්ඩුවේ අපිට තියෙනවා මේ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට.
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් යම් මතයක් සමාජයේ ඇතිවෙලා තියෙනවා. නීතිපතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් නෑ. නීතිපතිවරයා ඉවත් කිරීමට අපේ රටේ තියෙන ක්‍රමවේදය තමයි 2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනත. පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඉවත් කිරීමේ නෛතික ක්‍රියාමාර්ග මේ පනතේ තිබෙනවා. මේක පාර්ලිමේන්තුවේ කටයුත්තක්. පාර්ලිමේන්තුවට ගේන දෝෂාභියෝගයකින් තමයි මේ කටයුතු සිදුකළ හැකි වන්නේ. අපිට පාර්ලිමේන්තුවේ 159ක බලයක් තිබෙනවාය කියා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තිබෙනවාය කියා සාධාරණ හේතු දැක්වීමකින් තොරව රජය මේ පනත ක්‍රියාත්මක කරන්නෑ.
හැබැයි නඩු කටයුතු සම්බන්ධයෙන් සමාජයේ ඇති වන මතය රජය, ආණ්ඩුව හා රාජ්‍ය ආයතන සැලකිල්ලට ගන්නවා. ඒ නිසා නීතිපතිවරයා හම්බවුණේ කවුද කියලා මේකට අදාළ වෙන්නෑ. වැදගත්ම දේ තමයි මේ නඩු කටයුතු වේගවත්ව අධිචෝදනා ගොනු කරන තැනකට ගෙන ඒමට කටයුතු කිරීම. ඒ වෙනුවෙන් රජය කැපවෙනවා. අපිත් ඉන්නේ නඩු කටයුතු ඉක්මන් කළ යුතුය කියන ස්ථාවරයේ. පරීක්ෂණ කරන අංශවලට රජය උපරිම සහාය ලබාදෙනවා.”