අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරුණා. ඒ මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට තීරණයකට අනුවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සදහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වනවා.
මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර ද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දුන්නා.
මෙරට මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියට අවශ්‍යවන ගිලන්රථ අවශ්‍යතාවය පරිදි ඉදිරි කාලය තුළ දී අදියරෙන් අදියර ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සදහා මධ්‍යම රජයේ, සෞඛ්‍ය සංවර්ධනය සදහා වෙන්වූ විශේෂ ව්‍යපෘතිවල මෙන්ම විදේශ රාජ්‍යන්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියා.
එමෙන්ම රෝහල් පද්ධතියෙහි සිදුකළ යුතු භෞතික සම්පත් සංවර්ධනයට මේවන විට පියවර ගෙන ඇති බව සදහන් කළ අමාත්‍යවරයා එය ක්‍රමානුකූලව නිසි සැලසුමකට අනූව සිදුකරන බව ද පවසනවා. මෙරට ජනතාවට ප්‍රශත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුවම කැපවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්වන චාමික ගමගේ, සුනිල් ගලගම, ජනක කිත්සිරි ගුණවර්ධන,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, අධ්‍යක්ෂ (ප්‍රවාහන) නිලංග දිල්හාන් සෝමපාල, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියා.