ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම හා විධිමත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අන්තර්සම්බන්ධීකරණය තුළින් ‘ට්‍රාන්සිට් සිටිස්’ (Transit Cities) සහ එම නගරවල සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි, අවශ්‍ය පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (Multimodal Transport Hubs) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී හඳුනාගෙන ඇත.
🚌🚉 ප්‍රමුඛතා පදනම මත සංවර්ධනය වන මධ්‍යස්ථාන:
දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදුවන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කිරීමේ ශක්‍යතා අධ්‍යයනයකට යටත්ව, ප්‍රමුඛතා පදනම මත සංවර්ධනය කිරීමට නියමිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන රැසක් සඳහා වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ප්‍රමුඛතා පදනම මත සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන මෙසේය:
- මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (ලෝක බැංකු මුල්‍යකරණය යටතේ දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.)
- අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ය.)
- අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (ශක්‍යතා අධ්‍යයන සිදුකර මූලික කටයුතු අවසන් කර ඇත.)
- කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත.)
- මොරටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත.)
- රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය
- (ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) විසින් සිදුකරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනාගෙන ඇත.)
🏙️ නාගරික සංවර්ධන සැලසුම් යටතේ හඳුනාගත් මධ්‍යස්ථාන:
- අවිස්සාවේල්ල
- ගාල්ල
- කටුනායක
- කුරුණෑගල
- ගම්පහ (නාගරික සංවර්ධන සැලසුම් හා කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ විද්‍යුත්කරණය යටතේ)
- කළුතර (දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාවක් පරිදි)
- කන්කසන්තුරය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ)