විශ්වවිද්‍යාලවල නවකවදයට සහ ප්‍රචණ්ඩත්වයට කිසිම සමාවක් නොදෙන බවත් සිසුන් සිදුකරන උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට බාධා නොකරන බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
වවුනියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමඟ පැවති සාකච්ඡාවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.
නව පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරුඵලකය නිරාවරණය කළ අගමැතිනිය, නව පුස්තකාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය පහසුකම්, ප්රශස්ත මට්ටමින් දිය යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක සිටින බවත් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් අගමැතිනිය කීවාය.
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙසේ ද පැවසුවාය.
“රජයේ අපේක්ෂාව අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමාණාත්මක වර්ධනයකට වඩා, ලෝකයට මුහුණ දිය හැකි, ලෝකයත් සමඟ ගනුදෙනු කළ හැකි සිසුන් බිහිකරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත් කිරීමයි. විශ්වවිද්‍යාල හුදු පළමු උපාධිය හිමි උපාධිධාරීන් පමණක් බිහි කරන කාර්යයෙන් ඔබ්බට ගොස් පශ්චාත් උපාධි අධ්‍යයනයන් සහ රටට, ලෝකයට වැඩදායී සහ ඵලදායී පර්යේෂණ සිදුකරන ස්ථාන බවට පත්කරගැනීම තමයි රජයේ අපේක්ෂාවයි.
පසුගිය කාලවල අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය ව්‍යාප්ත වුණා. නමුත් එහි ගුණාත්මකභාවයට ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැහැ. අපගේ විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යයන් විශ්වාසයකින් යුතුව ලෝකයට මුහුණදීමට සූදානම් බව අප සහතික කළ යුතුයි. ඉදිරි වසර කිහිපයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමේ පවතින බවට සහතික කරමින් පශ්චාත් උපාධි, ගුරු පුහුණු විශ්වවිද්‍යාල බවටත්, පර්යේෂණයේ විශිෂ්ටතා මධ්‍යස්ථාන බවටත් පත්කිරීම අවශ්‍යයි. විශ්වවිද්‍යාලවලට තමන් බිහිකරන උපාධිධාරියා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මේ සභාවේ සිටින බොහෝ දෙනා එකඟ වෙනවා ඇති. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන්ට තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්‍ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙනගත යුතු දේ විශ්වවිද්‍යාලයේදී උගන්වන්න අපට සිදු වෙනවා. ඒ පාසල් අධ්‍යාපනයෙන් සිදුවිය යුතු කාර්යය නිසි ලෙස සිදු නොවන නිසයි.
මේ තත්ත්වය මෙරට උසස් අධ්‍යාපන පද්ධතියට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. දරුවකු පාසලෙන් පිටවන විට, ඔවුන් වැඩ ලෝකයට හෝ උසස් අධ්‍යාපනයට සූදානම් බව සහතික කිරීමට අපි අමතක නොකළ යුතුයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඒ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරනවා.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විදිහට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගන්න, උද්ඝෝෂණ කරන්න, ශිෂ්‍ය දේශපාලනය කරගෙන යන්න අපෙන් කිසිම බාධාවක් නෑ. ඒත් විශ්වවිද්‍යාලවල කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට, නවකවදයට හෝ සාමකාමි ශිෂ්‍ය ප්‍රජාවට හානිකර කිසිම දේකට ඉඩ දෙන්නේ නැහැ. එවැනි දේ වෙනුවෙන් සමාව දෙන්න සූදානම් නැහැ.”