“දිට්වා” සුළි කුණාටුව සහ ඉන්පසු ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවදානමට ලක්වූ ඉඩම් පදිංචිය සඳහා භාවිත නොකරන පදනම මත කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් මුල් හිමිකරුට ඵලදා බදු ක්‍රමය යටතේ ලබා ගැනීමට අවස්ථාව රජය විසින් සලසා දී තිබෙනවා.
ඒ අනුව, අධි අවදානම් තත්ත්වයේ පවතින පදිංචිව සිටි නිවස පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා රජයට පවරා ගැනීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම අධි අවදානම් කලාපවල පිහිටි නිවාස සඳහා විකල්ප ඉඩමක නිවස ඉදිකළ යුතු අතර, පවතින අනතුරුදායක ඉඩම මෙසේ රජයට පැවරීමට එකඟ විය යුතුයි.
ඒ අනුව, අධි අවදානම් තත්ත්වයේ පවතින පදිංචිව සිටි නිවස පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා රජයට පවරා ගැනීමටයි කටයුතු යොදා තිබෙනවා.
එසේ නිවාස හානි වූ ජනතාවට වන්දි ලබා දීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රජය විසින් විශේෂ සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, එහි මේ බව සඳහන්.
එකී රක්ෂිතයක් බවට පත්කළ ඉඩම අදාළ ආපදාව සිදුවන අවස්ථාවේ ඉඩමේ හිමිකම දරණ ලද අයට හෝ ඔහුගේ/ ඇයගේ කලත්‍රයාට පමණක් කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදා බදු ලබාදීමට ප්‍රාදේශීය ආපදා කළමනාකරණ හා සහන සේවා කමිටුවේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් අනුමැතියෙන් කටයුතු කළ හැකි අතර, එකී ඉඩමේ පිහිටි සියලු ගොඩනැගිලි, වැසිකිළි, කැසිකිළි සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කළ යුතු අතර රාත්‍රී කාලයේ රැඳී සිටීමට කිසිදු අයුරකින් ඉඩ ලබා නොදිය යුතුයි.
2025 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදු වූ සියලු ආපදාවන් මෙයට ඇතුළත්.
එමෙන්ම සුළි කුණාටුව නිසා ඇති වූ බලපෑම හේතුවෙන් හානි වූ නිවාස තක්සේරු කර පූර්ණ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල සහ අර්ධ නිවාස හානි සඳහා රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ගෙවීමේ බලතල ද ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා.
මෙම දීමනා ගෙවීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉකුත් ජනවාරි මස 06 වැනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ වල යම් යම් වෙනස්කම් සිදුකර ඉකුත් 14 වැනිදා නිකුත් කරන ලද ලිපියේ මේ බව සඳහන් කර තිබුණා.
අර්ධ නිවාස හානි වෙනුවෙන් තක්සේරුවකින් තොරව රුපියල් 500,000ක (ලක්ෂ 5) දීමනාවක් ලබා දීමට තීරණය කර ඇති අතර, මෙහිදී රුපියල් 300,000ක මුදලක් මූලිකව ලබා දෙන බවත්, නිවසේ වහලය, මුළුතැන්ගෙය හෝ බැමි ආපදා වලට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ඉතිරි රුපියල් 200,000 ලබා දෙන බවත්, එහි සඳහන්.
ආපදාව හේතුවෙන් තම හැඳුනුම්පත් හෝ ඔප්පු වැනි ලේඛන විනාශ වී ඇත්නම්, එම ලේඛන නොමිලේ ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කළ යුතුයි.
යම් හෙයකින් ලේඛන ඉදිරිපත් කිරීමට අපහසු වුවහොත්, ග්‍රාමීය කමිටු නිර්දේශ මත සහතික කළ පිටපත් හෝ පසුව ලබා දීමේ පදනම මත වන්දි ගෙවීම් සිදු කිරීමට අවසර දී තිබෙනවා.