පසුගියදා සිංහල පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක පළ වූ “ප්රභාකරන්ගේ නිවස යළි ඉදි කිරීමට වල්වෙටිතුරෙයි නගර සභාවේ අනුමැතිය හිමි වෙයි” යන පුවත දකුණේ ජනතාව අතර දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. විශේෂයෙන්ම නිදහස් දින සැමරුම් කාලවකවානුවේ මෙම පුවත පැතිර යාම නිසා විශාල දේශපාලනික හා සමාජීය කැලඹීමක් නිර්මාණය විය.
කෙසේ වෙතත්, කරුණු සොයා බැලීමේදී අනාවරණය වන්නේ මෙම වාර්තා බොහොමයක් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු මත පදනම් වී ඇති බවයි.
1. දැනට නිවසක් පවතින්නේද?
සමාජ මාධ්‍යවල නිවසක ඡායාරූපයක් පෙන්වමින් මෙම පුවත ප්‍රචාරය වුවද, ඇත්ත වශයෙන්ම ප්රභාකරන් හැදී වැඩුණු වල්වෙටිතුරෙයි ආලඩි පටුමගේ පිහිටි නිවස දැනට නොපවතී. එය 1987 යුද සමයේදී අර්ධ වශයෙන් හානි වී තිබූ අතර, 2010 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කරන ලදී. දැනට එම භූමියේ ඇත්තේ හිස් ඉඩමක් පමණි.
2. සත්‍ය යෝජනාව කුමක්ද?
වල්වෙටිතුරෙයි නගර සභාවට ඉදිරිපත් වී ඇත්තේ ප්රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාවක් නොවේ. එම ඉඩමේ වත්මන් අයිතිකාරිය වන ප්රභාකරන්ගේ සහෝදරිය (ඉන්දියාවේ පදිංචි මෝතිආපරනම් ජෙගදීශ්වරී) වෙනුවෙන් ඇයගේ නීත්‍යානුකූල බලයලත් නියෝජිතයා විසින් මහජන පුස්තකාලයක් සහ අධ්‍යයන ශාලාවක් ඉදිකිරීම සඳහා වන සැලසුම් අනුමැතියක් (Planning Permission) ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත.
3. රාජ්‍ය ප්‍රතිපාදන වැය කරන්නේද?
මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ හෝ නගර සභාවේ කිසිදු මුදලක් වැය නොකෙරේ. එය අදාළ ඉඩම් හිමිකාරියගේ පෞද්ගලික ධනයෙන් සහ දායකත්වයන්ගෙන් සිදු කිරීමට නියමිත පෞද්ගලික ඉදිකිරීමකි.
4. එම්. කේ. සිවාජිලිංගම්ගේ ප්‍රකාශය
වල්වෙටිතුරෙයි නගර සභාවේ සභාපති එම්. කේ. සිවාජිලිංගම් මහතා පවසන්නේ තමන් එවැනි යෝජනාවක් ඉදිරිපත් නොකළ බවයි. ඔහු පවසන්නේ පෞද්ගලික ඉඩමක ඉදිකිරීමක් සඳහා නීත්‍යානුකූලව අවසර ඉල්ලා ඇති විට, ඊට අනුමැතිය ලබා දීම නගර සභාවේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය බවයි. කෙසේ වෙතත්, සභාවේ සමහර මන්ත්‍රීවරුන් මෙම නව ඉදිකිරීම පැරණි නිවසේ ආකෘතියට අනුවම විය යුතු බවට මත පළ කළත්, අවසන් තීරණය ඉඩම් හිමිකාරිය සතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.