විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවසර නැති වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්බන්ධයෙන් පැවති විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදීම ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබේ. මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගී වී සිටියහ.

මාධ්‍ය හමුවේදී විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් තම අදහස් දැක්වූ නමුත්, ඔවුන්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව විමසීමට හෝ වැඩිදුර ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැත. සියලු දෙනාගේ කතා අවසන් වීමෙන් පසුව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මාධ්‍ය හමුව අවසන් කර තේ පැන් සංග්‍රහයක් සඳහා ආරාධනා කරන ලදි.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වන විට මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොලැබීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයකි. යම් හෙයකින් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොදෙන්නේ නම්, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම වඩාත් උචිත ක්‍රියාවක් බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම සිදුවීම, නිදහස් හා විවෘත මාධ්‍ය සම්ප්‍රදායන්ට අභියෝගයක් විය හැකි බවට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අය තුළ කනස්සල්ලක් ඇති වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *