මාලිමාවේ ජයග්‍රහණය දැන් හරවන්න බෑ – අනුර කුමාර කියයි

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (4 දා) ජාඇළ දී පැවසීය.

පසුගිය කාලයේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ අපයි. දැන් අපේ ජයග්‍රහණය සහතික කරන්නේ ඔවුන් විසින්මයි. සතියකට කලින් සජබයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ සජිත් – රනිල් එකතු නොවුනොත් ඒ ගොල්ලෝ පරාදයි කියලා කිව්වා. පෙරේදා (04) අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියනවා එකතු වුණේ නැතිනම් පරාදයි කියලා. ඒ නිසා ඊට විරෝධය පා අද සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් වෙන බව කියනවා. ඊළඟට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියලා රනිල් කියනවා. ඒ නිසා සජිත්ට ඡන්දය නොදී තමන්ට ඡන්දය දෙන්න කියලා එයා කියනවා. රනිල් කොහොමත් පරදිනවා. ජාතික ජන බලවේගය දිනන එක වළක්වන්න නම් සජිත්ට ඡන්දය දෙන්න කියලා සජිත්ගේ කට්ටිය කියනවා. දැන් මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ගොල්ලෝ පරාජය බාරගෙන ඉවරයි කියන එකයි.

ඒ නිසා අපිට විරුද්ධව කතා ගොතන්න, අවලාද නගන්න, අසත්‍ය චෝදනා කරන තත්වයකට ඒ ගොල්ලෝ පත්වී තිබෙනවා. ඒ මොනවා කළත් ජාතික ජන බලවේගය මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතෙකුටවත් ආපසු හරවන්න බැහැ.

අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව බාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ කියලා. දැන් රනිල් කියන්න පටන් අරන් අපි දිනුවොත් රට අනතුරේ කියලා. කුරුණෑගල පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබෙ තව කාන්තාවක් කියනවා, අපි දින්නොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කිව්වා. දැන් කියනවා දිනුවොත් කියලා. ජාතික ජන බලවේගය දිනුවොත් ඔබගේ ඌරු කොටුව නැතිවෙනවා කියනවා. ඒ කියන්නේ කොටුවට ඒ ගොල්ලෝ එනවා කියලා හිතලාද දන්නේ නැහැ. ජාඇල තිබෙන ඌරුකොටු වහලා ඒ ගොල්ලෝ ඌරු කොටුවල ගැටගහයි කියලා බයද දන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔවුන් කිව්වා, අපට දිනන්න බැහැ කියලා. මැදදි කියනවා දිනුවොත් කියලා. 22දාට කියයි අපෝ අප්පච්චියේ ඒ ගොල්ලෝ දිනන්නේ කියලා. මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්‍රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කථා කරමු.

අපි ජයග්‍රහණය කළාට පස්සේ අපේ ජනවරමයි, පාර්ලිමේන්තුවේ ජනවරමයි අතර ක්ෂණික විකෘතියක් නිර්මාණය වෙනවා. පොහොට්ටුවට කතිරේ ගහලා නාලක ගොඩහේවාට මනාපෙ ගැහැව්වා. දැන් එයා සජිත් ළඟ. දැන් එතකොට 2020 ජනවරම කෝ. ඒක අහෝසියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට කට්ටිය අහනවා එහෙම කරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව අපි ඒ අන්තර් කාලයේ රට පාලනය කරනවා. කොහොමද? එකක් තිබෙනවා. අපි දිනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය හිස්වෙනවා. තව කෙනෙකුට එතනට පත්වෙන්න පුළුවනි. හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැතිනම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයයන් තමන්ගේ යටතට ගන්න. එහෙමත් නැතිනම් භාරකාර ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. කළ හැකි ආකාර තුනක් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්නාතුරු ව්‍යවස්ථානුකූලව අපි රට පාලනය කරනවා.

ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය එනවා. දැන් රටේ විශාල කථාබහක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ඕනෑ කියලා. දැන් ඉන්න අයගෙන් 2/3ක් ඊළඟ පාර්ලිමේන්තුවේ නැති බව අපි දන්නවා. අද පාර්ලිමේන්තුව රැස්වෙලා ආයි කල්තිබ්බෙ ඔක්තෝබර් මාසෙ පළමු වැනිදාට. ඒ අනුව අර 2/3 අයගෙ අන්තිම පාර්ලිමේන්තු දවස අද. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී විශාල බහුතරයක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට උපරිම 25ක් වූ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඊට විද්‍යාත්මකව විෂයයන් බෙදනවා. මෙතෙක් කල් අමාත්‍යාංශ බෙදුවේ රට ගොඩනගන්න නොවෙයි. තම තමන්ට බෙදා ගන්නයි. අපි ඒ ඒ විෂයන්ට ගැලපෙන ඒකාබද්ධ කිරීම් කරලා අමාත්‍යාංශ බෙදනවා.

අපි මැති ඇමතිවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි කරනවා. මරික් කාර් පර්මිට්ද අහෝසි කරනවා. මේ සැරේ කතිරය හරියට ගහන්න. ගෙදර යැවිය යුතු අය ගෙදර යවන්න පුළුවන් එවිටයි. මේ 21 වැනිදා ගහන කතිරයෙන් ගෙදර යන්නේ රනිල් විතරක් නොවෙයි. මේක හරි බලවත් කතිරයක්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදිලා තිබෙනවා. දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. අවලාදවලට ලක්වෙලා තිබෙනවා. මාස 06න් ගෙදර යන්න අපි ආණ්ඩු හදනවාද? නැහැ. මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිරභාවය දැනටම මේ රටේ ජනතාව තහවුරු කරලා ඉවරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *