රනිල් හැර මෙවර ජනාධිපතිවරණයට එන්නේ මොළේ අමාරුකාරයන් – වජිරගෙන් තවත් කතාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ මොළයේ ආබාධයක් තිබෙන අයකු පමණක් බවද අබේවර්ධන මහතා සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කොට ඡන්ද ලක්ෂ සියයකින් යළි පත්කළ යුතු බවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන්. මුහුණු පොත තුළ විවිධ කණ්ඩායම් තමන්ගේ මවුපියන් මතක් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ඊයේ (02දා) පැවැසීය.

විදේශ බලපෑම් හා වෙනත් ආයතන නියෝජනය කරන, ලංකාවේ ඡන්ද පදනමක් නොමැති දේශපාලන කණ්ඩායම් මුදල් විශාල වශයෙන් වැය කර මෙම ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඕනෑම අයකුට මෙම මුහුණු පොත්වලට පිවිස සොයා බැලුවහොත් ඔවුන් කවුරුන්දැයි දැන ගත හැකි බව පැවැසූ සභාපතිවරයා තමන් ප්‍රකාශයක් සිදුකළ විට මෙම කණ්ඩායම් ප්‍රතිචාර දැක්වීම් 300 – 400 දමමින් සිටින බවත්, තමන්ට නොව ඔවුන්ටම එයින් අයහපතක් සිදුවන බවත් කීවේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා මේ බව පැවැසීය. මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ධුරයට ඉල්ලුම් කරන පුද්ගලයන්ට ගුටි කා මැරෙන්න වන බව පැවැසූ හෙතෙම ජනතාවට වංචනිකව අසතත්‍ය ප්‍රකාශ සිදුකොට ජනාධිපති ධුරයට පත්වුවහොත් මහජනතාව ගුටි බැට දී තනතුරෙන් ඉවත් කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ඉහළ ජාතියක් බවට පත්වීමට එකමුතුකම වැදගත් බවත්, කුළල් කාගෙන තනතුරු තණ්හාවෙන් ජනාධිපති ධුරයට ඉල්ලුම් කළහොත් ජාතිය වැනසෙන බවත් මන්ත්‍රිවරයා කීවේය.

අගමැතිකම, ජනාධිපතිකම, ඇමැතිකමක් ලබා ගැනීමට දේශපාලන පක්ෂ පාවාදීම් සිදුකරන බවත්, මෙම පහත් ක්‍රියාව සිදුකරන දේශපාලන පක්ෂ ගැන මහජනතාව අවදියෙන් සිටිය යුතු බවත් ඔහු කීය.

රනිල් වික්‍රමසිංහ පින්වන්ත ජනාධිපතිවරයකු බැවින් වසර තිහකට පසුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය යන සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ගොස් ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සහාය ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට වසර 12ක් එක දිගට රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවද හෙතෙම පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *