කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළාය.
මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.
කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක ගසක් යට දමාගොස් සිටියදී බිලිඳියක් හමුවූයේ පසුගියදා (17) පෙරවරුවේදීය.
පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම බිලිඳිය පළමුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කළ අතර පසුව මෙම බිලිඳය කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීය.
එසේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජි පෝල්රාජ් මහත්මිය ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, මෙම බිලිඳියගේ මව සොයා මේ වන විට විමර්ශන සිදුකරන බවයි.
කැපකරු මාපිය ක්‍රමය සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.