පනත සම්මත වූ සැණින් හිටපු මන්ත්‍රීන් 500කට ‘පෙන්ෂන්’ අහිමි වෙයි

රජය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත්, මන්ත්‍රීවරුන් 500 දෙනෙකුට පමණ එම විශ්‍රාම වැටුප අහිමි වන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව පවසයි.

ඉරිදා මව්බිම පුවත්පතට අදහස් දක්වමින්, විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් සහ ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ, හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හැර අන් සියල්ලන්ම තම දෛනික වියදම්, විශේෂයෙන්ම බෙහෙත් හේත් සඳහා මුදල් සොයා ගැනීමට අපහසු තත්ත්වයක සිටින බවයි. ඇතැම් මන්ත්‍රීවරුන් වයස්ගතව අසනීප වී එක්තැන්ව සිටින අතර, ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ද ආරක්ෂාවක් නොමැතිව දුෂ්කරතා විඳින බව ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තුව අවභාවිතාවට ලක්වන බවත්, අනාගතයේදී උගතුන් පාර්ලිමේන්තුවට නොඑනු ඇති බවත් මානගේ මහතා කියා සිටී. එවිට පාර්ලිමේන්තුව මුදල් ඇති අයට සහ වංචනිකයන්ට පමණක් සීමා වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. මෙමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ද අභියෝගයක් එල්ල වන බව පවසමින් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ද අහෝසි වන බවයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමානුකූලව නීති සකස් කරමින් සිටින බවත්, සාමාන්‍ය පුරවැසියන් ලෙස ජීවත් වීමට අපහසු අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සොයා බැලීමක් සිදුකරන බවත් ඔහු පැවසීය. හිටපු මන්ත්‍රීවරුන්ට ද ජීවත් වීමට අපහසු නම් ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවත්, මෙතෙක් එවැනි ඉල්ලීම් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *