මහජන බැංකුව බිලියන 40.2 ක ඉතිහාසගත ලාභයක් අත්කර ගනියි – සමූහ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 04 ඉක්මවයි

ඉතිහාසගත ලාභය: මහජන බැංකුව බදු ගෙවීමෙන් පසු මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාභය (PAT)වන රුපියල් බිලියන 40.2 ක් වාර්තා කරගනි

වත්කම් : මහජන බැංකු සමූහය ඒකාබද්ධ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 4.0 ඉක්මවා යමින් සුවිශේෂ සන්ධිස්ථානයකට ළඟාවෙයි.

මෙහෙයුම් ස්ථාවරත්වය: බැංකුව ශක්තිමත් ප්‍රාග්ධනයක් සහ ද්‍රවශීලතාවයක පවත්වා ගෙන ගිය අතර, මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 16.5% ක් සහ රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 263.3% කි.

ජාතික වගකිම ඉටුකිරිම Pay Digital වැඩපිළිවෙලට සහ MSME සංවර්ධනයට සහාය වූ අතර, ජාතික ආර්ථික සවිබල ගැන්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේය.

මහජන බැංකුවේ මූල්‍ය කාර්යසාධන විශේෂතා –

මහජන බැංකුව 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වසර සඳහා සිය මූල්‍ය කාර්ය සාධනය ප්‍රකාශයට පත්කළේය. මෙය බැංකු ඉතිහාසය තුළ ශක්තිමත්ම කාර්ය සාධනය වන අතර, එය රු. බිලියන 40.2 කි. එය මෙතෙක් වාර්තා කළ ඉහළම ඒකල ලාභය වීම විශේෂත්වයකි. මෙම සන්ධිස්ථානිය ජයග්‍රහණය මඟින් බැංකුවේ ශක්තිමත් ස්ථාවරත්වය සහ ජාතික ආර්ථික ක්‍රියාකාරකම්වල ගාමක බලවේගයක් ලෙස එහි වැදගත් කාර්යභාරය අවධාරණය කෙරේ. එම වසරේදි දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ඉන් ඇතිවිය හැකි මූල්‍ය බලපෑම සීමා කිරීමට සහ මෙම වාර්තාගත ප්‍රතිඵල ලබා ගැනිම සඳහා බැංකුව ක්‍රියාකාරී ව්‍යාපාර අඛණ්ඩතා පියවර සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය භාවිතා කළේය.

බැංකුවේ විශිෂ්ට ඒකල කාර්යසාධනය, එහි සාර්ථකත්වයේ ප්‍රධාන ගාමක බලවේගය වූ අතර, ඒ සියලුම ප්‍රධාන ආදායම් මාර්ග හරහා සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත්තේය. මෙහෙයුම් ආදායම 32.5%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 165.8 ක් වූ අතර, ශුද්ධ පොලී ආදායම 32.8% කින් වර්ධනය වී රුපියල් බිලියන 142.4ක් විය. මෙම වර්ධනය හේතුවෙන් පෙර වසරේ 3.4% ක්වූ ශුද්ධ පොලී ආන්තිකය, මෙවර 4.1% දක්වා ඉහළ ගියේය. බැංකුවේ ශේෂ පත්‍රය ද ස්ථාවර ප්‍රසාරණයක් පෙන්නුම් කළ අතර, ඒකල වත්කම් රුපියල් ට්‍රිලියන 3.7 දක්වා, තැන්පතු රුපියල් ට්‍රිලියන 3.2 දක්වා සහ ශුද්ධ ණය රුපියල් ට්‍රිලියන 1.7 දක්වා වර්ධනය විය. මෙම ඒකල වර්ධනය හේතුවෙන් ප්‍රාග්ධනය තත්ත්වය ශක්තිමත් වූ අතර, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සහ ස්ථර 1 අනුපාතය පිළිවෙලින් 16.5% සහ 12.2% ක් විය. මෙය නියාමන සීමාවන්ට වඩා බෙහෙවින් ඉහළ අගයකි.

මහජන බැංකු සමූහ කාර්ය සාධනය

මහජන බැංකු සමූහ කාර්ය සාධනය ඒකාබද්ධ මට්ටමින්, ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේ මුළු වත්කම් සහ මුළු ණය කළඹ පිළිවෙලින් රුපියල් ට්‍රිලියන 4.0 සහ රුපියල් ට්‍රිලියන 2.0 සීමාවට ළඟා වෙමිනි. සමූහය රුපියල් බිලියන 43.5 ක බදු පසු ලාභයක් වාර්තා කළ අතර, ඒකාබද්ධ දළ ආදායම රුපියල් බිලියන 424.0 දක්වා ඉහළ ගියේය. මෙම ජයග්‍රහණ මඟින් මූලික බැංකු මෙහෙයුම් සහ අනුබද්ධ සමාගම් දෙකෙහිම අඛණ්ඩ ව්‍යාප්තිය පිළිබිඹු වන අතර, සමූහයේ ශක්තිමත් මූල්‍ය ධාරිතාව සහ මූල්‍ය අංශය තුළ එහි උපායමාර්ගික වල ස්ථාවරත්වය පිළිඹිබු කරයි.

මෙම කාර්ය සාධනය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙම ප්‍රතිඵල ඔස්සේ බැංකුවේ මෙහෙයුම් පදනම් ශක්තිමත් කරමින් අභියෝග ජය ගැනීමට ඇති හැකියාව පෙන්නුම් කරන බව පැවසිය. කලින් පීඩනයට ලක් වූ කොටස් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමස්ත ස්ථාවරත්වය වැඩිදියුණු කර ඇති බවත්, තිරසාර හා විචක්ෂණශීලී ලාභදායිත්වය සහතික කරමින් රජයේ ආර්ථික ප්‍රමුඛතා සඳහා අර්ථාන්විතව දායක වීමට බැංකුවට හැකියාව ලැබෙ බවත් ඔහු ප්‍රකාශ කළේය. ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ රට පුරා ජනතාවට සමිප වන පරිදි නවෝත්පාදන, හවුල්කාරිත්වයන් සහ පුළුල් මූල්‍ය පහසුකම් සඳහා බැංකුව කැපවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා, ගතවූ මාස දොළහක ප්‍රතිඵලය බැංකුවේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව පැවසිය. බැංකුවේ මෙහෙයුම් ආකෘතියේ සිදුකළ පරිවර්තනයක් ඔස්සේ මෙම ප්‍රතිඵල ලබාගත් බවත්, එහි සාම්ප්‍රදායික භූමිකාව ඉටුකරන අතරම, පුද්ගලික අංශයේ ව්‍යාපාර පුළුල් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවත් ඔහු පැහැදිලි කළේය. සමූහය වාර්තාගත ලෙස රු. ට්‍රිලියන 4.0ක වත්කම් සන්ධිස්ථානය පසුකිරිම මඟින්, වාර්තාගත කාර්යසාධනය, බැංකුවේ ශක්තිමත් පරිමාණය, මෙහෙයුම්, ඔරොත්තු දීමේ හැකියාව සහ දිගුකාලීන උපායමාර්ගික ස්ථානගත කිරීම පිළිඹිබු වන බව ෆොන්සේකා මහතා තවදුරටත් අවධාරණය කළේය. කාර්යක්ෂමතාව, ගනුදෙනුකාර අත්දැකීම් සහ ඩිජිටල් හැකියාවන් සඳහා අඛණ්ඩව සිදුකරන ආයෝජන තුළින් තරඟකාරිත්වය ඇති කර, ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කර ඇති අතර, ඉදිරි වසරවලදී තිරසර වර්ධනයක් සඳහා බැංකුව ස්ථානගත කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මූල්‍ය මිනුම් දඬුවලින් ඔබ්බට, මහජන බැංකුව සියලු දෙනා ඒකාබද්ධ කරගත් සහ අපේක්ෂා මත පදනම් වූ මුලපිරීම් හරහා රටේ ආර්ථිකයට ගුණාත්මක දායකත්වයක් ලබා දී ඇත. බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් පිළිබඳ දැනුවත් කර, එහි භාවිතය වැඩි කිරිමෙන් ජාතික , Pay Digital, න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරිමට හැකිවිය. එමෙන්ම මහජන බැංකුවේ ඩිජිටල් ග්‍රාහකයින් සංඛ්‍යාවද මිලියන 4 ඉක්මවා ගියේය. තවද, තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්වය සංවර්ධනය කිරිමේ අරමුණින් ලෝක සුඵ හා මධ්‍ය පරිමාණ දිනය සමරන ලද අතර, BizTeens Challenge 2025 වැඩසටහන සංවිධානය කරන ලදි. බැංකුවේ ව්‍යාපාර සහ මෙහෙයුම් උපායමාර්ග ජාතික ප්‍රමුඛතා සමඟ පෙළගස්වා ගන්නා අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කිරිම මහජන බැංකුවේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *