විශාල ලී කඳන්-උණ පඳුරු අපද්‍රව්‍ය ඉවත් කර නාවික හමුදා කිමිදුම්කරුවෝ පේරාදෙණිය කළු පාලමට යළිත් හුස්ම දෙයි

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් පේරාදෙණිය කළු පාලම තුළ සිරව තිබූ විශාල දැව කඳන් හා උණපඳුරු ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කර ජල බැස යන ලෙස යථා තත්ත්වයට පත්කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කටයුතු කර ඇත.

සුළිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උණපඳුරු ඇතුළු අවශේෂ පේරාදෙණිය කළු පාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුළ සිරවී එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැස යෑම අවහිර විය. එම පාලම් යථාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහාය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් ඉකුත් 14දා සහ 17දා සාර්ථකව අවසන් කර ඇත.

කළු පාලම දුම්රිය පාලම තුළ අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂ කිමිදුම් කණ්ඩායමකගේ සහය දෙසැම්බර් 04 සිට ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ද සහය සහිතව නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වයෙන් සති දෙකක පමණ කාලයක් සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් පසුව කළු පාලම තුළ සිරවූ දැව කඳන් සහ විශාල උණපඳුරු ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර එම පාලම ඔස්සේ අවහිරයකින් තොරව ජලය බැස යෑමට සැලැස්වූ අතර එමගින් එහි ඉදිරි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම පේරාදෙණිය නිල්ලඹ ප්‍රදේශයේ මහවැලි ගඟ ඔස්සේ ඇති කළුගමුව පාලම තුළ සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ හේතුවෙන් ගැටඹේ සිට නිල්ලඹ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යනු ලබන ප්‍රධාන ජල නළ මාර්ගයට හානි සිදුවීමේ අවදානමක් ඇති විය. ඒ අනුව එම පාලම තුළ අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් දෙසැම්බර් 11 දින නාවික හමුදාව ආරම්භ කළ විශේෂ කිමිදුම් සහය සහ ශිල්පීය දායකත්වය ලබාදීමේ මෙහෙයුම දෙසැම්බර් 14 දින සාර්ථකව අවසන් කිරීමෙන් එම ප්‍රධාන ජල මාර්ගය වෙත සිදුවීමට හැකිය තිබූ හානිවීමේ අවදානම ඉවත් කිරීමට හැකිවී තිබේ.

තවද අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ පීඩාවට පත් මහජනතාව වෙත සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කළ විශේෂ මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම යටතේ පසුගිය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 18 දක්වා කාලය තුළ නාවික හමුදාව මගින් ජීවිත අවදානමට පත් පුද්ගලයන් 1378 දෙනකු ආරක්ෂිතව මුදා ගැනීමටත් පුද්ගලයන් 18301 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් අවශ්‍ය සහන සැලසීමටත් කටයුතු කර ඇත. එමෙන්ම ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් පොදු ස්ථාන, නිවාස සහ පානීය ජල ළිං පවිත්‍ර කිරීම වෙනුවෙන් නාවික හමුදාව ආරම්භ කළ විශේෂ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට (2025 දෙසැම්බර් 18) පානීය ජල ළිං 1025ක් පොදු ස්ථාන 104ක් සහ නිවාස 83ක් නාවික හමුදා දායකත්වයෙන් පවිත්‍ර කර භාර දීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබාදෙන බව නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *