පසුගිය විසිතුන් වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී නිවේදනය කළේ ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහන යටතේ ආරක්ෂක අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාවේ සහයෝගය සහිතව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනයට ව්‍යාපෘතියක් දියත් කර කිරීමට සහ රට පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ පනහක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි. මේ ව්‍යාපෘති කමිටුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ගුවන් හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා පරිගණක සංඛ්‍යාත්මක පාලනය කිරීමේ ඒකකය අයත්ය. ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට නියමිත අතර, නව බස් නැවතුම්පොළේ නිර්මාණකරණ කටයුතු (Design and Construction) සිදු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනයට අදාළව ආපණශාලාවක්, මගී විවේකාගාරයක්, බස් රථ රියැදුරන්ගේ විවේකාගාරයක්, ටිකට් පත් කවුන්ටර, පරිපාලන ඒකකයක්, මෙහෙයුම් මධ්‍යස්ථානයක් සහ රියැදුරු නිල නිවාස වැනි පහසුකම් ඇතුළත් කිරීමට සැලසුම් කොට ඇත.
2026 ජූලි වන විට නව බස් නැවතුම්පළ ආශ්‍රිත සංවර්ධන කටයුතු නිමාවට පත්කිරීමට බලාපොරොත්තු වන අතර එම සැලැස්මේ දිගුවක් ලෙස ඉදිරි වසර 10 සම්පූර්ණ වීමේදී පිටකොටුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවාව, පෞද්ගලික බස් රථ සේවය හා දුම්රිය සේවය ඒකාබද්ධ කොට බහුසන්ධානික ප්‍රවාහන පර්යන්තයක් (Multi-Model Transport Hub) ඉදි කිරීමට සැලසුම් කොට තිබේ. ශ්‍රී ලංකාව තුළ දැනටමත් මේ සංකල්පයට අනුව මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන අතර, එය ආදර්ශයට ගෙන පිටකොටුව ප්‍රවාහන පර්යන්තයද සැලසුම් කළ හැකිය. මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සලසාගත හැකි සාමාන්‍ය සේවාවන්ට අමතරව දැකගත හැකි විශේෂත්වය වන්නේ ආකර්ෂණීය පිරිසුදු හරිත වටපිටාවකින් සමන්විත වීමත් තම පෞද්ගලික රථවාහන පර්යන්තය තුළ ගාල් කර යෑමේ (Park and Ride Method) පහසුකම පැවතීමත්ය. පිටකොටුවට දිනකට වාහන ලක්ෂ දෙකහමාරකට අධික ප්‍රමාණයක් පැමිණෙන නිසා පරිසර දූෂණයද ඉහළ මට්ටමක පවතී. එබැවින් ඉහත විශේෂිත සංකල්ප ද්විත්වය ක්‍රියාත්මක කිරීමෙන් මගියාට රථ වාහන තදබදයෙන් මිදීමට හැකි වන අතර, නගරය පිළිබඳ ආකර්ෂණයක් ඇති වනු නියතය.
මීට අමතරව මේ ව්‍යාපෘතියේදී ප්‍රවාහන පර්යන්තයට ආසන්නව පහසු මිලට වෙන් කරවා ගත හැකි ලැගුම්හල් ඉදි කිරීමට හැකි නම් එය විශේෂයෙන්ම, විදේශීය සංචාරකයාට විශාල පහසුවක් වනු ඇත.