දුරකථන ඇමතුමක් පිළිබඳ සැක සිතී සැමියා බිරිඳට පිහියකින් කොටයි

මොනරාගල පොලිස් වසමට අයත් ජනඋදානගම හුලංදාව වම පදිංචි තම බිරිඳට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් සැකසිතී බහින්බස්වූ සැමියා එළවළු කපන පිහියකින් බිරිඳට පහරදීමෙන් කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකාරිය කරාපිටිය ප්‍රදේශයේ ඇඟලු‍ම් කම්හලක සේවය කරන අතර ඉකුත් තුන්වෙනිදා දරුවන් බැලීමට නිවසට පැමිණ ඇත.

ඉකුත් 10 වෙනි දින උදෑසන මුළුතැන්ගේ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී බිරිඳට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් සැකසිතුණු සැමියා ඒ පිළිබඳව බහින්බස්වී බිරිඳට එළවළු කපන පිහියකින් මුහුණට හිසට සහ අත්පාවලට පහරදී තිබේ.

තුවාල ලැබූ බිරිඳ ඔහු විසින්ම මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇත.

සැකකාර සැමියා මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල මූලස්ථාන පො.ප. චාමින්ද සංජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *