පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපන්න යයි

මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂු සංවිධානය මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත.

ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 වැනිදා) මල්වතු විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.

ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් ශාසනික වශයෙන්ද හානි කරමින් තවදුරටත් කටයුතු කරන පිටිදූවේ සිරිධම්ම හිමියන් නිසා මල්වතු පාර්ශ්වයටද බරපතළ අපකීර්තියක් අත්වන නිසා මෙම ඉල්ලීම කළ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ ‘අරුණ’ පැවැසූහ.

‘‘සිරිධම්ම හිමියන් හැසිරෙන්නේ භික්ෂූත්වයට නොගැළපෙන ආකාරයටයි. මීට පෙර දෙවතාවක්ම සිරිධම්ම හිමියන් මල්වතු විහාරයට කැඳවූ මහනාහිමියන් අවවාද කළා. ආපහු වැරදි නොකරන බව ලිඛිතවත් පොරොන්දු වුණා. නමුත් උන්වහන්සේ දිගටම හැසිරෙන්නේ භික්ෂූත්වයට නොගැළපෙන ආකාරයටයි. එසේම දිගින් දිගටම අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේට අපහාස කරනවා.මේ සිරිධම්ම හිමිගේ හැසිරීම මල්වතු පාර්ශ්වයටත් බරපතළ අපකීර්තියක්. මේ නිසා තමයි උන්වහන්සේ එම පාර්ශ්වයෙන් නෙරපන්න කියලා අපි මහනාහිමිගෙන් ඉල්ලීමක් කළේ.එසේ ඇතැම් භික්ෂූන් වහන්සේලා යූටියුබ් නාළිකා හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ නිසා විවිධ අර්බුද ඇතිවී තිබෙනවා.සිරිධම්ම හිමියන් පිළිබඳ අප කළ ඉල්ලීම ගැන මහනාහිමියන් අවශ්‍යය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අප සිතනවා. ශාසනික වශයෙන් ගැටලු ඇතිකරන මෙවන් හිමිවරුන් තම නිකායේ මහනාහිමියන්ගේ අවවාදවත් පිළිගන්නේ නැහැ. සිරිධම්ම හිමියොත් එහෙමයි හැසිරෙන්නේ. මුලදි මහනාහිමි ඉදිරියේ වැඳ වැටී සමාව අරන් නැවත හැසිරෙන්නේ ඒ ආකාරයටමයි. මෙවැනි හිමිවරුන් ගැන අප මුලින්ම උන්වහන්සේ අයත් නිකායේ මහනාහිමියන් දැනුවත් කරනවා. අද මේ සිදු කළේ එවැන්නක්’’ යැයිද මහාචාර්ය පාතේගෙම ඤාණිස්සර හිමියෝ පැවැසූහ.

One thought on “පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපන්න යයි

  1. උන්වහන්සේව බැරිද පත්කරන්න සoග කෘෂිකාර්මික මහනායක ධූරයෙන්.සමාජයට විශාල සේවයක් ලබාදෙමින් කටයුතු කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *