අගමැති ධුරය ගන්න ගෝඨාභය අනුරට ආරාධනා නොකල බව ගෝඨාභයගේ පොතෙන්ම කියයි

2022 ජූලි නම වෙනිදා මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරය අතහැර පලාගිය කථාව දැන් පොතක් ලෙස නිකුත්ව තිබෙනවා. එහි කොටස් කිහිපයක් උපුටා දක්වන මාධ්‍ය පවසන්නේ ඔහු එම අර්බුද මොහොතේ කිසිඳු අවස්ථාවක අගමැති ධුරය බාරගන්නා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කර නොමැති බව අනාවරණය වන බවයි. එහෙත් මීට ඉහත පොහොට්ටුවේ ඉහලම පිරිස් පවා සඳහන් කළේ අගමැති ධුරය බාරගන්නා ලෙස එම තීරණාත්මක මොහොතේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළ බවයි. එහෙත් අනුර කුමාර දිසානායක මහතා එය බාර නොගත් බවයි ඔවුන් පුන පුනා කියා සිටියේ.

“එදා රටේ පැවැති ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කිරීමේ අවශ්‍යතාවයක් මතු විය. එම නිසා මම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව රට පාලනය කළ නොහැකි බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන් පසු මම සරත් ෆොන්සේකාට කතාකර අගමැතිකම භාර ගන්නා මෙන් ඔහුට ආරාධනා කර සිටියෙමි. ඔහු මට කීවේ, මම ඔහුව අගමැති හැටියට පත්කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර එතනින් එහාට කටයුතු ඉදිරියට ගෙන යමුය කියාය. ඔහුට පිරිනමනු ලැබූ තනතුර ඔහු එක්වර පිළිගත්තේ නැත.

ඒ වනවිට තිබුණේ කැබිනට් මණ්ඩලයක් නොමැතිව රටට පාලන අධිකාරියක් නොමැති තත්ත්වයක්ය. ඒ අතරතුර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මා හමුවීමට පැමිණ ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කර පසුව ජනාධිපති ධුරයෙන් මා ඉල්ලා අස්වන්නේ නම් පමණක් අගමැති ධුරය භාර ගැනීමට කැමති බව මට දන්වා සිටියේය. එම කොන්දේසිය පිළිගැනීමට මම සූදානම් නොවූයෙමි. මම එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතාකර අගමැතිකම භාරගන්නා මෙන් ඔහුට ආරාධනා කළ විට, කිසිදු පැකිලීමකින් තොරව ඔහු එම ධුරය භාර ගත්තේය. එම නිසා මම එතුමාව නව අගමැති ලෙස පත් කළෙමි.

2022 මාර්තු 31 වැනි දින රාත්‍රියේ මගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණය නිසා මට වැඩි ආරක්‍ෂාව සඳහා ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑමට සිදු විය.

කොළඹ වරායෙන් පිටත් වූ අපි ත්‍රිකුණාමලයට ගොස් නාවික හමුදා කඳවුරේ රාත්‍රිය ගතකර පසුදා හෙලිකොප්ටරයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ දෙවැනි රාත්‍රිය ගුවන් හමුදා කඳවුරේ ගත කළෙමු. පසුදා රාත්‍රියේ අපි ගුවන් හමුදා ගුවන්යානයකින් මාලදිවයිනට පියාසර කර 2022 ජූලි 12 වන දින අලුයම 3.00ට පමණ මාලේ අගනුවර වෙත ළඟා වූයෙමු. මාලේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි දූපතක හෝටලයක මට නවාතැන් දීමට මාලදිවයින් රජය කටයුතු කර තිබූ අතර අපි බෝට්ටුවෙන් එම හෝටලයට ළඟාවන විට උදෑසන වී තිබුණි. එතැනින් පෞද්ගලික ගුවන්යානයකින් අපි සිංගප්පූරුව බලා යෑමට සැලසුම් කර තිබුණත්, ඉන්දීය බලධාරීන් මෙම පෞද්ගලික ගුවන්යානයට මාලේ බලා යෑමට අවසර දී තිබුණේ නැත. එම නිසා වාණිජ ගුවන් යානයකින් සිංගප්පූරුවට යෑම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්නා මෙන් මම උපදෙස් දුන්නෙමි. ඒ අනුව අපි සෞදි ගුවන් සේවයේ ගුවන්යානයකින් සිංගප්පූරුවට ගියෙමු.

මාලදිවයින් රජය මට හෝටලයේ සිට ගුවන්තොටුපළට යෑමටත් එතැන් සිට සිංගප්පූරුවට යෑමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි. මා සමඟ මගේ බිරිඳ සහ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද ගමනට එක්වී සිටියහ. මාලදිවයිනේ සිටි අවස්ථාවේ දී මා රටින් පිට සිටින නිසා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කළෙමි. සිංගප්පූරුවේදී මා ඇතුළු පිරිස ගුවන්තොටුපළේ දී පිළිගෙන හෝටලයකට රැගෙන යනු ලැබූ අතර එහිදී මා නවාතැන් ගන්නා තට්ටුව සුරක්ෂිත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. සිංගප්පූරුවට පැමිණීමෙන් පසු දේශපාලන පක්‍ෂ නායකයන් මගෙන් කළ ඉල්ලීමට ගරුකරමින් ඉදිරි දින කිහිපයේ දී මම ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව මම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දුන්නෙමි. ඒ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබාදීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය හා සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණ සිටි නිසාය.

ජූලි 21 වැනිදා නව ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපතිවරයා ලෙස ඔහු මුලින්ම පිවිසුණු රාජ්‍ය ආයතනය වූයේ බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය යි. පසුදා පහන්වීමට පෙර ගාලුමුවදොර ඉතිරිව සිටි විරෝධතාකරුවන් පළවාහැර, එහි තිබුණු කූඩාරම් සියල්ල ඉවත්කර, ඊනියා අරගලය අවසන් කර තිබිණි”යි එම පොතේ සඳහන් වන බවයි මාධ්‍ය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *