ඩෙල්ෆ්ට් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් 10ක් යාපනය අධිකරණ සංකීර්ණයේ නඩු බඩු ගබඩාවේදී තේ කහට බවට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (12 දා) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඩෙල්ෆ්ට් පොලිසිය විසින් නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 10 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඩෙල්ෆ්ට් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.
එහිදී සැකකරු වරද පිළිගැනීම නිසා මත්පැන් බෝතල් 10 ඉදිරි නඩු කටයුතු සඳහා යාපනය අධිකරණ සංකීර්ණයේ ගබඩාකොට තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට දඩ නියම කරණු ලැබීය.
අදාළ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවක මත්පැන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදනම් කළ අවස්ථාවේදී ඒවායෙහි පැහැය වෙනස් වී තිබීම නිසා මත්පැන් බෝතල් පිළිබඳව කළ පරීක්ෂාවකදී එම බෝතල්වල මැත්පැන් වෙනුවට තේ කහට අඩංගු බව පෙනී ගොස් තිබේ.
ඩෙල්ෆ්ට් පොලිසිය විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙසද සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඩෙල්ෆ්ට් මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
ඒ අනුව යාපනය අධිකරණයේ රෙජිස්ට්‍රාවරයා ඇතුලු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සහාය ඇතිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
මත්පැන් බෝතල් 10ම අධිකරණ මුද්‍රා සහිතව ගබඩාකොට තිබියදී මත්පැන් බෝතල්වලට කවරෙකු විසින් හෝ තේ කහට පුරවා මත්පැන් ඔවුන් විසින් ලබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
දිනසේන රතුගමගේ