දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය බීලා රිය පැදවූවොත් දැන් අතේ මාට්ටු – පොලිසිය කියයි

දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර (ගංජා, හෙරොයින්, අයිස් සහ බාබුල්) රථවාහන පදවන රියැදුරන් ජංගම රසායනාගාර මගින් හඳුනාගෙන ඔවුන් අධිකරණය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව පොලිස් මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ. සේනාධීර මහතා ‘දිවයින’ට පැවසීය.

අලුතින් අරඹා ඇති ජංගම රසායනාගාර සේවාව මගින් දැනට බස්රථ රියැදුරන් පමණක් පරීක්ෂා කරන අතර ඒ අනුව ත්‍රිරෝද, මෝටර් රථ ඇතුළු සියලු වාහන පදවන රියැදුරන් ද පරීක්ෂා කරනු ඇති බවත් ඔහු කීය. විනාඩි 10ක් ඇතුළත මේ පිළිබඳව වාර්තාව ලබා ගත හැකි වීම මෙහි විශේෂත්වය වේ.

ඒ අනුව එවැනි වරදක් කර ඇති රියැදුරන් හඳුනාගතහොත් ඔවුන් අධිකරණය හමුවට පමුණුවා දඩ නියම කිරීම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා නීති කෘත්‍යයන් සිදුවනු ඇති බවද ඔහු කීය.

රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 21 වැනිදා ජංගම රසායනාගාර සේවාව මගින් කොළඹදී කෙටිදුර සහ දුරගමන් සේවා බස්රථ 59ක් පරීක්ෂා කර ඉන් 8 දෙනකු ගංජා භාවිත කර ඇති බවටත් දෙදෙනකු අයිස් සහ හෙරොයින් පානය කර ඇති බවටත් හඳුනාගෙන තිබූ බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ගමනාගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව මෙම ජංගම රසායනාගාර සේවාව ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන බවද සේනාධීර මහතා කීය.

පසුගිය 21 වැනිදා බස්රථ පරීක්‍ෂා කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ. සේනාධීර, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යූ.පී.පී. පෙරේරා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *