වැටුප් නොගෙවුවහොත් තැපැල්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් තමන් මෙම වර්ජනය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
මේ අතර, තමන් වර්ජනය අත්හළ බවට සමාජ මාධ්‍යවල සැරිසරන ලිපිය ව්‍යාජව අත්සන් යොදා සැකසූවක් බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බවත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
තැපැල් සේවක ඉල්ලීම් 19ට සාධාරණ හා යුක්තිසහගත විසඳුමක් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.
ඊයේ (අගෝ. 21) සවස වන විටත් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් හය වන දිනටත් අද දවසේ වර්ජනය ක්‍රියාත්මක කරන බවද සම කැඳවුම්කරු සඳහන් කළේ ය.
නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කොන්දේසි යටතේ සාකච්ඡාවලට සම්බන්ධ වීමට වෘත්තීය සමිති සූදානම් නැතැයි පැවැසූ හෙතෙම සේවක ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දීමේ අරමුණින් විධිමත් ආකාරයෙන් සාකච්ඡාවක් කැඳවුවහොත් ඊට සහභාගී වන බවත් කීවේය.
අමාත්‍යවරයා තැපෑලේ භාරකරු වශයෙන් එම සේවාව පවත්වාගෙන යෑමට සහාය විය යුතු බව කි චින්තක බණ්ඩාර රජය කඩිනමින් සාකච්ඡාවක් සූදානම් කර වෘත්තීය සමිතිවලට ලිඛිතව දැන්විය යුතු බවත් ඇමතිවරයා මාධ්‍ය ඔස්සේ සිදුකරන ඉල්ලීම් පිළිගත නොහැක බවත් ප්‍රකාශ කළේ ය.
තැපැල් සේවක වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති අධ්‍යාපන, ඛනිජ තෙල්, රාජ්‍ය පරිපාලන ඇතුළු වෙන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමග ඊයේ සාකච්ඡා කළ බවත් තැපැල් වර්ජනයට අවශ්‍ය සහාය ලබා දීමට වෘත්තීය සමිති නායකයන් එකඟතාව පළ කළ බවත් සම කැඳවුම්කරු පැවසීය.
මේ අතර, අද (අගෝ. 22) සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නිත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා පැවසුවාය.
දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලිය 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය සඳහන් කළා ය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩගසා තිබූ විදෙස් තැපැල් පාර්සල් හා ලිපි මළු මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙ ආ නමුත් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා බෙදාහැරීමට නොහැකි වී ඇතැයිද ඇය කීවා ය.
චමීෂා ද සිල්වා මෙසේ ද පැවසුවාය.
“මෙම වර්ජනයෙන් මහජනතාව, තැපෑලේ සිටින අය වගේ ම දේශීය – විදේශීය අපේ තැපැල පාවිච්චි කරන සියලු දෙනා අපහසුතාවට පත්ව සිටිනවා. මේ දක්ව සේවයට වාර්තා නොකළ අය අද පෙවරුවේ ම කාර්යාලවලට වාර්තා කරන්න. එහෙම නොවුණහොත් ඉදිරියේදී නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහොම ආදරයෙන්, කරුණාවෙන් නිලධාරීන්ට ආයාචනය කරනවා සේවයට වාර්තා කරන්න කියලා”