යුද හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද (17) මධ්‍යම රාත්‍රී 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය (දුම්රිය රියදුරු සංගමය) නිවේදනය කර තිබේ.
වර්ජනයට හේතුව
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු සාමාජිකයින් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට බලධාරීන් ගෙන ඇති තීරණයට වෘත්තීය සමිති සිය දැඩි විරෝධය පළ කරයි. අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බව එම සංගමය පවසයි.
රජයේ ස්ථාවරය
මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, මෙම හමුදා සාමාජිකයින් පුහුණු කරන්නේ හදිසි අවස්ථා වලදී පමණක් සේවය ලබා ගැනීමට මිස දුම්රිය සේවය හමුදාකරණය කිරීමට නොවන බවයි.
දේශීයව මෙම පුහුණුව ලබා දීමට වෘත්තීය සමිති ඉඩ නොදෙන්නේ නම්, එම හමුදා සාමාජිකයින් විදේශගත කර හෝ අවශ්‍ය පුහුණුව ලබා දීමට රජය පියවර ගන්නා බවට නියෝජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.