ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත් පාලන ඡන්ද සමයේදී පැවති දේශපාලන රැලි හා ප්‍රචාරණ කටයුතු සඳහා රජයේ වාහන භාවිත කර තිබෙන බවත්, පසුව එම රාජකාරි නොවන කටයුතු වෙනුවෙන් දරා තිබෙන වියදම් පියවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවත් අනාවරණය වේ.
මෙම තොරතුරු අනාවරණය වූයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කළ 2025 අගෝස්තු 11 දිනැති තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර ලෙස PS/RTI/01/2025/267, 268, 262 යන ලිපි අංක යටතේ 2025 සැප්තැම්බර් 24 දිනැතිව ලබාදුන් තොරතුරු මගිනි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් බලයේ සිටින කාලය තුළදී සිදු කළ පුද්ගලික සංචාර හා දේශපාලන කටයුතු සඳහා දරන ලද වියදම් සම්බන්ධයෙන් දැඩි සේ කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලද ගුවන් සංචාරයක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟය. අපද අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපතිවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ ගුවන් සංචාර සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ තොරතුරු ලබා ගනිමින් ඒ සම්බන්ධයෙන් වූ කරුණු ජනතාවට අනාවරණය කර තිබේ.
ඒ ආකාරයටම, වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන්ද සොයා බැලීම මාධ්‍යවේදීන් ලෙස මෙන්ම පුරවැසියන් ලෙසද අප සතු වගකීමකි. එමෙන්ම අයිතියකි. මෙහිදී අපගේ අවධානයට ලක් වූයේ, පසුගිය පාර්ලිමේන්තු හා පළාත් පාලන මැතිවරණ සමයෙහිදී සිය පක්ෂයේ දේශපාලන ප්‍රචාරක කටයුුතු වෙනුවෙන් ජනාධිපතිවරයා කළ සංචාර සඳහා රජයේ අරමුදල් වැය කර තිබේද යන ප්‍රශ්නයයි.
Source : Lankadeepa