ජනපති අනුර සහ කටාර් එමීර් අතර සාකච්ඡා – කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට බාධාවකින් තොරව බලශක්ති සැපයුම ලබාදීමට සහතිකයක්

කලාපීය වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට කටාර් රාජ්‍යය එකඟතාව පළ කර තිබේ. කටාර් එමීර් අතිගරු ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති දුරකථන සංවාදයකදී මෙම සහතිකය ලබා දී ඇත.

කලාපයේ පවතින ඉරාන ආක්‍රමණශීලී ක්‍රියාවන් හමුවේ කටාර් රාජ්‍යය මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටි අතර, ශ්‍රී ලංකාවේ සහයෝගීතාව සහ සහය පළ කළේය.

වත්මන් යුදමය උත්සන්න වීම් හේතුවෙන් ගෝලීය බලශක්ති අංශයට සහ සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නායකයන් දෙපළ අවධානය යොමු කළහ. එහිදී එමීර්වරයා අවධාරණය කළේ කටාර් රාජ්‍යය සැමවිටම විශ්වාසනීය බලශක්ති සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි.කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එමීර්වරයා විශේෂ සහතිකයක් ලබා දුන්නේය.

කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් ඒකාබද්ධ උත්සාහයක අවශ්‍යතාව සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් හරහා ස්ථාවරත්වය ඇති කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *