ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයැදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයැදුම්පත් 5277ක් ලැබී ඇත. 2024 වසරේ ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 3456කි.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරට වඩා 2025 වසරේදී අයැදුම්පත් 1964ක් ලැබී ඇත. එම අයැදුම්කරුවන් අතරින් 70%කට වැඩි පිරිසකට මේ වන විට වෛද්‍යාධාර ලබා දීමද අවසන් කර තිබේ.
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයැදුම්පත් ලැබෙමින් පවතින අතර 2025 වසරේදී උතුරු පළාතේ අයැදුම්පත් යොමු කිරීම 253%කින් වර්ධනය වී ඇත. නැගෙනහිර පළාතේ 135%කින්, මධ්‍යම පළාතේ 116%කින් සහ ඌව පළාතේ 108%කින් අයැදුම්පත් ලැබීම ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයැදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම 2025 වසරේ පෙබරවාරි 07 දා සිට ආරම්භ විය. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයැදුම් කිරීමට ප්රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇත.